මහ රැජිනටත් ලෑලි ගෙදර කාමරයක් වෙන් කළ පිටකොටුවේ අපූරු මිනිසා ජනදාස

ගම්පෙරළිය නව කතාවේ එන ජිනදාස දකුණු ලක හැර යන්නේ සිංහලේ පැමිණීම පිණිස ය. ඔහු අපට මුණ ගැසෙන්නේ ප්‍රබන්ධ සාහිත්‍ය තුළින්ය. ජිනදාස ලියනගේ තමන් උපන් දකුණු ලක හැර කොළඹ පැමිණෙන්නේ වෙසක්සිරි නැරඹීම පිණිසය. එසේ පැමිණෙන ඌරුමුත්තේ ජිනදාස කොළඹ වටරවුම්, පදික වේදිකාවන් පමණක් නොව කලක් රීගල් පාලම යට අඳුරු අහු මුළු පවා තමන්ගේ නිදිපොළ බවට පත්කර ගන්නේය. එලෙස අදින් දශක කීපයකට පෙර තමන් උපන් ගම් බිම් හැර කොළඹ පැමිණෙන ඌරුමුත්තේ ජිනදාසගේ කොළඹ ජීවිතයට මේ වනවිට වසර 50 ක් සම්පූර්ණ වී ඇත. එහෙත් ඔහුගේ ජීවිතය තවමත් අසම්පූර්ණය.

ඉන්න හිටින්නට හරි හමන් සෙවණක් නැත. ජීවත්වීම පිණිස ආදායම් මාර්ගයක් නැත. ඒ කෙසේ වෙතත් කිසිවකු ළඟ දණින් නොවැටෙන ජීවිතයක් ගත කරන ඌරුමුත්තේ ජිනදාස පිටකොටුව බෝධිරාජ මාවත හා ඒ අවට බෙහෙවින් ජනප්‍රිය පුද්ගලයෙක් ය. ඉකුත් දිනක වෙනත් මාධ්‍ය කටයුත්තක් පිණිස එහි ගොස් සිටි අපට ජිනදාස මුණ ගැසෙන්නේ අහඹු හමුවීමක් ලෙස ය. ඉතා කෙටි වේලාවක් තුළ එම හමුවීම මිත්‍රත්වයක් දක්වා වර්ධනය වූ අතර ජිනදාස තම ජීවිතය අප හමුවේ විවරණය කර සිටින්නේ ඉන් අනතුරුවය. එය ද අපගේ ඉල්ලීම පරිදිය. මෙතැන් සිට පෙළ ගැසෙන්නේ ජිනදාස ලියනගේ ඌරුමුත්තේ ජිනදාස බවට පත්වූ ආකාරය පිළිබඳ ඔහු විසින් පවසා සිටින කතාව ය.

‘ඒ කාලේ අද වගේ නොවෙයි. රට හරි ලස්සනයි. වෙසක් උත්සවය, සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ඒ ලස්සන තවත් වැඩිවෙන කාලපරිච්ඡේදයක්. මම මේ කියන්නේ 1969 අවුරුද්දේ වෙසක් දවසක් පිළිබඳ කතාවක්. එදා මම ගෙදරින් එළියට බැස්සේ වෙසක් බලන්න. අකුරැස්සෙන් පිටත් වෙච්ච මම වෑන් එකක නැඟලා මාතරට යනවා. අකුරැස්සේ ඉඳලා මාතරට යන්න වෑන් එකට ශත දහය යි. පෙට්‍රල් ගැලුමක් රුපියල් 2 යි ශත 12 යි. මට අවුරුදු 15 යි. පොඩි එකා වෙසක් සිරි නරඹමින් මාතරට එනවා. ගමෙන් එළියට බැස්සට පස්සේ තමයි තේරුණේ අපේ ගමෙන් එහා ලස්සන ලෝකයක් තියෙනව කියල. ඒ ලෝකය දකින්න පාර දිගේ ඇවිද ගෙන යන්න ඕනෙ කියන සිතුවිල්ලක් මගේ හිතේ ඇතිවෙන්න ගත්තා.

පාර දෙපැත්තේ දන්සැල් දෙනව. පන්සල්වල විවිධ පින්කම් පවත්වනවා. මට හරි සතුටුයි. දන්සැලකින් කනවා. ඉස්සරහට යනවා. ඔය අතරේ වෙසක් බලන්න යන කොල්ලෝ කුරුට්ටෝ එක්ක සෙට් වෙනවා. වාහනයක් ආවොත් ඒකේ නැඟලා ටික දුරක් එනවා. ඔහොම දවස් දෙක තුනක් යද්දී කළුතර බෝධිය ළඟට එනවා. එතැන දවස් දෙකක් ඉන්නවා. ඒ කාලේ වෙසක් උත්සවය දවස් හතක් තිස්සේ පවත්වනවා. ඒ හින්දා තනියක් පාළුවක් නෑ. කන්න බොන්න දන්සැල් තියෙනවා. ගෙදර දොර ගැන දැන් වගේ වගක් නෑ. ඔහේ එනවා. කොහොමින් හරි දවස් හය හතක් ඔහොම ගමන් කරලා මං ඇස්වාට්ටුව වටරවුම ළඟට ආවා කියන්නකෝ…’

අකුරැස්ස ඌරුමුත්තේ උපන් ජිනදාස ලියනගේ කොළඹ පැමිණෙන්නේ ඒ ආකාරයෙන්ය. එය අරමුණක්, ඉලක්කයක් නැති ගමනක් ය. කුඩා කොලු ගැටයකු වූ ජිනදාස කොළඹ පැමිණෙන්නේ නූලෙන් ගිලිහුන් සරුංගලයක් පරිදි ය. කුඩා කොලු ගැටයකු සේ කොළඹ පැමිණි ජිනදාසට ඉන් අනතුරුව මුහුණ දීමට සිදුවන්නේ කුමන අභියෝගයන්ට ද එවැනි අභියෝග හමුවේ ඔහු කටයුතු කරන ලද්දේ කෙසේද? මේ ආකාරයේ ගැටලු රැසක් ඉන් අනතුරුව මසිත පැන නඟින්නට විය. ඒ බව ඉවෙන් මෙන් අවබෝධ කරගත් ජිනදාස නැවතත් කටහඬ අවදි කරන්නට විය.

‘…අද වගේ මිනිස් සමාජයක් නොවෙයි එදා තිබුණේ. හොඳ ගුණ යහපත් මිනිස්සු තමයි එදා ජීවත් වුණේ. පොඩි එකා වුණාට මගේ හිතත් හරි හයියයි. යකාටවත් බය නැහැ. කොළඹ ඇවිත් පළමු රැය ගත කළේ ඇස්වාට්ටුවේ වටරවුමේ. පත්තර කොලයක් එළාගෙන හොඳට නිදාගත්තා. උදේ නැඟිටල වටපිට බැලුවා. හැම පැත්තට ම පාරවල්. දැන් වෙසක් සතියත් ඉවරයි. කන්න බොන්නත් නෑ. ගෙදර යන්නත් නෑ. එදා ඉඳලා අද වෙනකම් මේ ගෙන්දගම් පොළොවේ පයගහල ඉන්නවා. දැන් මට වයස 65යි. මගේ ජීවිතයෙන් අවුරුදු පනහක්ම එළිවුණේ රෑ වුණේ මේ කොළඹ අහස යට තමයි මහත්තයා….’

අදින් වසර 50කට එපිට තමන් විසින් ගත් හිතුවක්කාර තීරණය පිළිබඳ විස්තරය ගුණදාස ලියනගේ විසින් මා සමග පවසා සිටියේ ඒ ආකාරයෙන්ය. ඔහු කොළඹට පැමිණි කතාව එතෙකින් අවසන් නැත. ඔහු සතුව තවත් බොහෝ දේ පැවසීමට ඇත. පිටකොටුව බෝධිරාජ මාවතේ පදික වේදිකාවක් මත සිදුවූ අහුඹු හමුවීම ක්‍රමයෙන් මිත්‍රත්වයක් දක්වා වර්ධනය වෙමින් ඇත. නානා ප්‍රකාර ගති පැවතුම් සහිත මිනිසුන් ජීවත්වන පිටකොටුව බෝධිරාජ මාවතේ ජීවත්වන මෙම අපූර්ව මිනිසා සමග සිදුකරන කතා බහ නිමාවට පත් කිරීමට පෙර අසා දැනගත යුතු තවත් බොහෝ දේ ඇත. එහි මුල, මැද නිවැරදිව ගළපා ගැනීම යනු විශේෂාංග ලිපියක්ය. මා ඉදිරියේ පෙනී සිටින්නේ කොළඹ පිළිබඳ හසල අත්දැකීම් සහිත මිනිසෙක් බැවින් අවස්ථාව මඟ හැරිය යුතු නැත.

ඊට පස්සේ කොළඹ ජීවිතයට හුරු වුණේ කොහොම ද?

ඒක මම කියන්නම්. ඊට කලින් අපි දෙන්න මුණ ගැහුණ මේ ස්ථානය ගැන යමක් කියන්න තියෙනවා. මම කොළඹට එන්නත් කලින් කොළඹ නගරයේ ගමනා ගමනය පිණිස ට්‍රෑම් රථ සේවයක් තිබිල තියෙනවා. යකඩ කුලුනු උඩ සවිකරන ලද කම්බි ආධාරයෙන් තමයි ට්‍රෑම් කාර් එහෙට මෙහෙට ගිහින් තිබුණේ. අද ඒ එක කුලුනක්වත් කොළඹ නෑ. නමුත් බෝධිරාජ මාවතේ තව එකම එක කුලුනක් තියෙනවා. ‘මේ තියෙන්නේ ඒ කුලුන.’ ඔහු සමීපයේ පිහිටි යකඩ කුලුනක් පෙන්වමින් ජිනදාස එසේ පවසන්නට විය. අඩි හය හතක වපසරියකින් යුත් හිස් බිමක්, එබිම මතින් ඉහළ නැඟී මලකෑ යකඩ කුලුනක් සහ එම කුලුන මෙන් ඕනෑම අභියෝගයක් මැද නොසැලී සිටිය හැකි ඉතා රසවත් අතීතයක් අතින් ගත් මිනිසෙක් ඔහුට තවදුරටත් කතා කිරීමට ඉඩහැර මුණිවත පුරන පත්තරකාරයෙක්.

“මේක එසේ මෙසේ කුලුනක් නොවෙයි මහත්තයෝ. බ්‍රිතාන්‍යයයේ හිටපු මහ රැජින, ඩයනා කුමරිය ඒ වගේම චාල්ස් කුමාරයා ඇතුළු රජ පවුලේ සාමාජිකයන් පවා මේ ස්ථානය ගැන දන්නවා. රාජකීය තැපෑලෙන් එන ලිපි ලේඛන එන්නේ මේ ලිපිනයට. මෙතැන ලිපිනය තමයි අංක 38/ඒ, ට්‍රෑම් කාර් කුලුන අසල, අඩි 100 පාර වංගුව, පිටකොටුව. මං රජ පවුල වෙනුවෙන් පණ ඇරලා ඉන්න මනුස්සයෙක්. මගේ නම ලිපිනය සඳහන් කරලා රාජකීය තැපෑලෙන් ඔය ලිපිනයට ලිපි එවනවා. ඒ හින්දා මේ ස්ථානය පණ වගේ මම ආරක්‍ෂා කරනවා. ඊයේ පෙරේදාත් පිරිසක් ඇවිත් මේ ස්ථානය මගෙන් උදුර ගන්න හැදුවා. ‘මේ තියෙන්නෙ පොලු පාර’ ඔළුවට මැහුම් අටක් ගැහුවා. ලේ හැළුණත් මේ ස්ථානය මම පරිස්සම් කරනවා…’

හිස පැළඳ සිටි හිස්වැසුම ඉවත් කළ ජිනදාස ඔහුගේ හිසෙහි වූ ප්ලාස්ටරයක් පෙන්වමින් එසේ සඳහන් කර සිටි ජිනදාස ඉන් අනතුරුව නැවතත් නතර කළ තැන සිට කතාව ආරම්භ කළේය.

‘කාලයක් මෙතැන මම ලස්සන කඩයක් කරගෙන ගියා. මොකක් හරි හේතුවක් මත කඩේ ගිනි ගත්තා. ලක්‍ෂ පහළොවක විස්සක අලාභයක් සිද්ධ වුණා. ඊට පස්සේ මාව ආර්ථික වශයෙන් බින්දුවට වැටුණා. අද මෙතැන හිස් බිමක් විතරයි. පුටු කබලක්වත් නෑ. දැන් මේක අයිති කරගන්න පිරිසක් වලිකනවා. මේ ස්ථානය එහෙම නැත්නම් පිටකොටුව බෝධිරාජ මාවත කියන්නේ පිටකොටුවේ හදවත වගේ තැනක්. මං මගේ කතාව මුල ඉඳලා කියන්නම්. ඒක ටිකක් දිග කතාවක්. පොඩි වෙලාවක් යනව අලගිය මුලගිය තැන් කියන්න ගියොත්. යං මම පදිංචිවෙලා ඉන්න තැනට ගිහින් නිවී සැනසිල්ලේ කතා කරමු…’ එසේ පැවසූ ජිනදාස ඉස්සර විය. මා ඔහු අනුකරණය කරන්නට විය.

පිටකොටුව බෝධිරාජ මාවතෙන් අඩි 100 මැද පාරට පිවිසි ඔහු කඩිනම් ගමනින් යම් ස්ථානයක් වෙත ගමන් කරන්නට විය. මීටර් පනහක් පමණ දුරක් ගමන් කළ ඔහු මඳක් නතරව ‘මගේ පස්සෙන් එන්න මහත්තයා’ යනුවෙන් උස් හඬින් පවසා වඩේ කඩ දෙකක් මැදින් ඇති කුඩා දොරුවකින් ඇතුළු විය. අමුම අමු පිටකොටුව මැද පිහිටි දොරුවෙන් ඇතුළු වීමත් සමග මසිත හට ගත්තේ චකිතයකි. වෙනත් ආකාරයකට සඳහන් කළොත් අඳුරු දෝනාවකට ඇතුළු වූවා වැනි හැඟීමකි. ‘එන්න මහත්තය මේ පඩි පෙළ නැඟල උඩට යමු.

එතැන් සිට අඩි කීපයක් උස යකඩ පඩි පෙළක් තරණය කළ යුතු විය. එකවර එක් අයෙකුට පමණක් ඉහළ නැඟිය හැකි ඉනිමඟක් වැනි එම පඩි පෙළ තරණය කළ පසු ඉහළ අහසට විවෘත වූ එළිමහන් කොන්ක්‍රීට් තට්ටුවකි. එහි විවිධ වර්ගයන්ට අයත් ඖෂධ වර්ග පලා වර්ග, පලතුරු ඇතුළු තවත් විවිධ බෝගයන් සහිත සරු සාර වගාවකි. කොන්ක්‍රීට් වනාන්තරයක් මැද එවැනි වගා භූමියක් පවත්වාගෙන යෑම දකින මා දෑස් වරක ජිනදාස දෙසත් තවත් වරෙක සාර සුබාවට උස මහත් වෙමින් පැවැති වගාවන් දෙසත් යොමුවෙනු දකින ජිනදාස ‘පුදුමත් හිතෙනව නේද?’ යනුවෙන් මගෙන් විමසා සිටියේ මසිත තුළ පැන නැඟුණ චකිතය තේරුම්ගත් නිසාවෙන් විය යුතුය.

‘මේක තමයි මහත්තයා මගේ ගෙදර. තලගොයෙක් තුඹසකට රිංගනව වගේ තමයි මෙතැනට එන්න තියෙන්නේ. මෙතැනට ආවට පස්සේ හරි සනීපයක් දැනෙනවා. ඉඟුරු පඳුරේ ඉඳලා හැම දෙයක්ම මේ පුංචි ඉඩකඩ ඇතුළේ වගා කරල තියෙනවා. කුරුල්ලන්ට කන්න පලතුරු වවල තියෙනවා. මේ පුංචි කොන්ක්‍රීට් තට්ටුව උඩ උයා පියා ගන්න දර ළිපක්, නිදාගන්න කාමරයක්, ලස්සන එළිමහනක් මේ හැම දෙයක්ම තියෙනවා. ඒ විතරක් නොවෙයි බ්‍රිතාන්‍යයයේ මහ රැජින නමට වෙන් කරපු රාජකීය කාමරයකුත් තියෙනවා. ඒ කාමරයේ මමවත් නිදාගන්නේ නෑ. උදේ හවස සුවඳ දුම් අල්ලනවා. රජ පවුලේ පින්තූර විතරක් නොවෙයි රැජිනට කරන ගෞරවයක් විදිහට ඉංග්‍රීසි පත්තර පවා ඒ කාමරේ තියෙනවා.

පහුගිය අවුරුද්දේ බ්‍රිතාන්‍යයයේ මහ රැජින මිය ගියා. නමුත් මම එතුමියගේ කාමරේ ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. මම කලිනුත් කිව්වනේ රජ පවුල එක්ක මගේ සමීප සම්බන්ධයක් තියෙනව කියලා. අන්න ඒකට කරන ගෞරවයක් වශයෙන් තමයි මම එතුමියගේ නමින් මගේ ගෙදර කාමරයක් වෙන් කරල තියෙන්නේ. මම කොළඹ ඇවිත් ඇසුරු කළේ උසස් මහත්වරු. ඒ මහත්වරුන්ගෙන් ලැබුණ උසස් මහත්මා ගති ගුණ මගේ ළඟත් තියෙනවා. මෙතැන සද්ද බද්ද නෑ. මහත්තය වාඩිවෙන්න. කතාවේ ඉතිරි ටික දැන් මම කියන්නම්…’ ලෑලි කාමරයක දොරක් විවර කළ ජිනදාස එහි තිබූ ප්ලාස්ටික් පුටුවක් එළිමහනට රැගෙන විත් මට එහි අසුන් ගන්නා ලෙස ඇරයුම් කොට බෝධිරාජ මාවෙතේ දී වාහන කන්කරච්චලය මැද නතර කළ කතාව යළිත් පවසන්නට විය.

මම කලින් කිව්වනේ කොළඹට ඇවිත් මාව වැටුණේ ඇස්වාට්ටුව හන්දියට කියලා. ඒක මෙලෝ දෙයක් දැනගෙන ආව ගමනක් නෙවෙයි. ඔහොම දවස් දෙක තුනක් ගත වෙද්දී ඇස්වාට්ටුව කිට්ටුව අඹ පලතුරු විකුණන කීපදෙනෙක් මගෙත් එක්ක මිත්‍ර සම්බන්ධකම් පවත්වන්න ගන්නවා. ඒ හරියේ ගැවසෙන මහත්වරු කීපදෙනෙකුත් මා එක්ක හිතවත් වෙනවා. දවසක් එක මහත්තයෙක් එයා ළඟට කතා කරලා මට කිව්වා රස්තියාදු ගහන්නෙ නැතිව කීයක් හරි හොයා ගන්න ක්‍රමයක් බලන්න කියලා. මගේ අතේ සතයක් නෑ.

මං ඒ බව අර මහත්තයට කිව්ව. ඒ කාලේ මහ ඉස්පිරිතාලේ ඕපීඩී එකෙන් බෙහෙත් ගන්න ශත 25ක මුද්දරයක් ඕන. අර මහත්තය මට එයාගේ සල්ලිවලින් මුද්දර ටිකක් අරන් දීල කිව්වා ලෙඩ්ඩුන්ට මුද්දර විකුණල කීයක් හරි හොයා ගන්නව කියල. මාත් ඒ කියපු විදිහට වැඩේ කරගෙන ගියා. දවල්ට මුද්දර විකුණනවා. ඊට අමතරව බේත් ගන්න එන ලෙඩ්ඩුන්ට පෝලිම් අල්ලල දීල කීයක් හරි හොයා ගන්නව. රෑට ඇවිල්ල සොයිසා වටරවුමේ නිදා ගන්නව. ඔහොම කාලයක් ඇස්වාට්ටුව හා ඒ අවට කරක් ගහද්දී දවසක් වෝඩ් ප්ලේස් එකේ ලොකු ගෙයක් ඉස්සරහ සුදු පාට ක්ලීන් සූට් ඇඳගත්ත මහත්වරු පිරිසක් ඉන්නව දකිනව. මමත් හෙමින් හෙමින් එතැනට ගියා.

හරි හොඳ මහත්වරු පිරිසක්. මං පොඩි එකා කියල එලව ගත්තේ නෑ. හොඳින් කතා කළා. අදත් ඒ මහත්වරු කීපදෙනෙක් ජීවතුන් අතර ඉන්නවා. දවස් කීපයක් එහෙම යද්දී ඒ මහත්වරු මගෙත් එක්ක හිතවත් වෙනවා. සමහර දවස්වලට ගියහම අහනව මල්ලි කෑව ද කියලා. බඩගින්නෙ හිටියත් මම ඒ වෙලාවට කෑව කියල කියනවා. නමුත් බත් එකක් දුන්නොත් කනව. දවසක් මම එතැන හිටිය මහත්තය කෙනෙකුගෙන් ඇහුව මේ ගෙදර ඉන්නෙ කවුද කියලා. එදා තමයි මම දැන ගත්තෙ ඒ ගෙය ජේ. ආර්. ජයවර්ධන මහත්තයගෙ කියලා.”

කලක් ගතවීමත් සමග වෝඩ් පෙදෙස පිහිටි හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනයන්ගේ නිවසට නිතර යන එන පුද්ගලයෙකු බවට පත්වන ජිනදාස එම නිවස තුළින් දැන උගත් දේ පිළිබඳව අදත් සිහිපත් කරනු ලබන්නේ මහත්වූ ගෞරවයකින් යුක්තවය. ඉන් අනතුරුව ජීවත් වීම පිණිස වෙනත් යමක් කළ යුතු යැයි තීරණය කරන ඔහු නැවත මාවතේ ජීවිතයට අවතීර්ණ වී ඇත. ඇස්වාට්ටුව ආශ්‍රීතව මුද්දර අලෙවි කිරීමට සමුදෙන ජිනදාස කොළඹ නගරයට යන එන පිරිසට ප්ලේන්ටී අලෙවි කිරීමේ අලුත් ජීවනෝපායක් ආරම්භ කර ඇත.

“මම පිටකොටුවේ හා ඒ අවට ප්ලේන්ටී විකුණන්න ගත්තා. ‘සුක්කු තන්නි‘ කියන්නේ ඉඟුරු, එනසාල් එහෙම දාල රසට හදන ප්ලේන්ටීයට ලස්සනට ඇඳල ප්ලේන්ටී මුට්ටියක් අරන් උසාවිය ළඟින් පටන් අරන් ගොල්ෆේස් එක ළඟට වෙනකම් යනව. ඊට පස්සේ පිටකොටුව හා ඒ අවට බිස්නස් කරනව. නමුත් රෑට ඉන්න තැනක් නෑ. ඔය වෙද්දී කොළඹ හැම වීදියක් වීදියක් ගාණෙම මම ඇවිදිනව. ඒ පාර මම තීරණය කරනවා රාත්‍රිය ගත කරන්න රීගල් බෝක්කුව යට හොඳයි කියලා. ඒ කාලේ කොටුවේ පන්සල අද වගේ දියුණු නෑ. මම ගිහින් ලොකු හාමුදුරුවෝ බැහැ දකිනවා. උන්වහන්සේගේ නම විතාරන්දෙණිය චන්ද්‍රජෝති. මට ඒ වෙද්දී වයස 18 ක් විතර ඇති. උන්වහන්සේගේ දැනමුතුකම් ලබා ගන්නවා. ඒ හරහා ජීවිතයේ හොඳ පැත්ත තෝර ගත්තා. මුදල් හරි හම්බ කළා. නමුත් ඉතිරියක් කළේ නැහැ. උපයපු මුදල් මිනිස්සු වෙනුවෙන් නැවත වියදම් කළා. එහෙම කරල රටේ ජනතාවගේ හොඳ හිත දිනාගත්තා. දැන් අවුරුදු 65 යි. මේ අත් දෙකෙන් අනුන්ගේ දේවල් මංකොල්ල කෑවේ නෑ. හොරකම් කළේ නැහැ. එහෙම කළානම් අවුරුදු 50 ක් මේ ගෙන්දගම් පොළොවේ පය ගහල ඉන්නත් බෑ…’

මා ඉදිරියේ සිට අතීතය සිහිපත් කරන ජිනදාස පවසන දේ සැබෑවක් බව අවබෝධ වන්නේ ඔහුගේ කල්ක්‍රියාව ගැන සඳහන් කරමින් වරින් වර ඔහු සමාජ බුහුමනට ලක්වූ අවස්ථාවන් සඳහන් සම්මාන සහතික ආදිය පරීක්‍ෂා කර බැලීමේ දී බාල ලීයෙන් ඉදිකරන ලද ඔහුගේ කුඩා නිවහනෙහි එක් කොටසක එම අභිමානවත් ඉතිහාසය සඳහන් සහතික පත්‍ර විශාල ප්‍රමාණයක් ආරක්‍ෂිතව තැන්පත් කර ඇත. බ්‍රිතාන්‍ය මහ රැජින ඇතුළු රජ පවුලේ සාමාජිකයන් විසින් වරින් වර එවන ලද ලිපි ඇතුළත් රාජකීය ලිපි ගොනුවක්, මෙරට ප්‍රභූන් විසින් ලබාදුන් සහතික පත් සහ කොළඹ ඉතිහාසය සහිත පුවත්පත් ඇතුළු තවත් ලිපි ලේඛන රැසක් ඊට අයත්ය. වරින් වර එම ලිපි ලේඛන මා අත තබමින් ඒ පිළිබඳ බොහෝ දේ විස්තර කළ ජිනදාස එම දිගු අතීතයෙන් වර්තමානයට පැමිණ ඔහු මේ වනවිට ගත කරන ජීවිතය පිළිබඳ විස්තර කරන්නට විය.

“මේ පිටකොටුවේ බෝධිරාජ මාවතේ ඕන කෙනෙක් ඌරුමුත්තේ ජිනදාස කිව්වහම මාව දන්නවා. තව පිරිසක් ‘අහිංසක’ කියලත් මාව හඳුන්වනවා. මට අහිංසක කියල නම දැම්මේ ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මහත්තයා. ඒ කතාවත් කියන්නම්. 88, 89 භීෂණය කාලේ එක තුණ්ඩු කෑල්ලට පිටකොටුවේ කඩ සේරම වහනව. මම මේකෙ ඉන්න මිනිහ හින්ද මට යන්න එන්න තැනක් නෑ. ඒ කාලේ ඇඟේ පතේ ගායත් හොඳට තිබුණ හින්ද භය කියල දෙයකුත් මගේ ළඟ තිබුණේ නෑ. හොඳ ඉලන්දාරියා. ඉතින් ඒ කාලේ මම කරන්නේ යන එන මං නැති මිනිස්සුන්ට තේ එකක් කාරිය විකුණලා ගතමනාවක් හොයා ගන්නවා. සුචරිතය තියෙන්නේ මේ එහා පැත්තෙනේ.

ප්‍රේමදාස මහත්තයා නිතර නිතර මේ හරියට එනවා. දවසක් මාව දැකල එතුමා කිව්වා මේ අහිංසකයා තමයි භීෂණය වෙලාවේ මිනිස්සුන්ට තේ එකක් හරි දුන්නෙ කියලා. එදා ඉඳලා තමයි බජාර් එකේ මිනිස්සු මට ‘අහිංසකයා’ කියල කියන්න ගත්තේ. ඔය වගේ ලස්සන කතා ගොඩක් මගේ ළඟ තියෙනවා. පොතක් ලිව්වත් ඒව ඉවර කරන්න බෑ. අවුරුදු පනහක් මේකේ හිටිය කියන්නෙ සෙල්ලමක්ද…’ ඔහු මගේ ප්‍රශ්න කර සිටින්නට විය. ඊට ලබාදියයුතු පිළිතුරක් මා සතුව නැත. වර්ෂ 1975 දී පමණ කොළඹ පදිංචිකරුවෙකු ලෙස සිය අනන්‍යතාවය තහවුරු කරගන්නා ඌරුමුත්තෙන් පැමිණි ජිනදාස තවත් තරුණයෙකු බඳුය. කඩිසරය. කතා බහ ප්‍රිය උපදවන සුළුය. ඇඳුමෙන් පැළඳුමෙන් පිරිසිදුය. එපමණක් නොව, පිටකොටුව ව්‍යාපාරික ප්‍රජාව අතර පවා හිත දිනාගත් අහිංසක මිනිසෙක්ය.

“මගේ සතර ගුණ ධර්මත් එක්ක පිටකොටුව බෝධි රාජ මාවතේ විවිධ සමිති සමාගම්වල සාමාජිකත්වය මට ලැබුණා. පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතියේ පවා සාමාජිකත්වය මට ලැබුණා. පිටකොටුව කියන්නෙ ලස්සන තැනක්. ලංකාවට කුඩු ආවට පස්සේ තමයි හැම දෙයක්ම අනිත් පැත්ත හැරුණේ. හොරු, මංකොල්ලකාරයෝ, ගණිකාවෝ බෝවෙන්න ගත්තේ ඊට පස්සේ. පිටකොටුවේ ගම තමයි කෙසෙල්වත්ත. කෙසෙල්වත්ත කියන ගමේ මිදුල තමයි පිටකොටුව. ඒ හින්දා කෙසෙල්වත්තේ මිනිස්සු මිදුලට බැහැල හොරකම් මැරකම් කරන්නෙ නෑ. පිටින් එන එක එක ජල්තරකාරයෝ තමයි පිටකොටුව විනාශ කරන්න හදන්නේ. මම මේ හැම දෙයක් දිහාම අවුරුදු 50 ක් තිස්සේ උකුස්සෙක් වගේ බලන් හිටපු කෙනෙක්. අදත් කවුරුහරි කාන්තාවක් ඇවිත් පිටකොටුවේ නන්න්තාර වෙන්න හදනවනම් මම ඒ අයව ගමට නැවත පිටත් කරනවා.

කුඩුකාරයෝ ඉන්නවනම් උන්ට හොරකම් කරන්න දෙන්නෙ නෑ. කීයක් හරි අතින් වියදම් කරල කන්හැදි ටිකක් පොත්පත් ටිකක් අරන් දීල කියනව ඕක විකුණලා කීයක් හරි හොයා ගනින් කියල. මළ මුත්‍රා පෙරාගෙන පාර අයිනේ කවුරු හරි වැටිල ඉන්නවනම් ඒ මනුස්සයාව නාවල රැවුල කපල සරමක් කමිසයක් අන්දවනව. වීදි දරුවන්ට මහ පාර උරුම කරන්නෙ නෑ. ඒ ළමයින්ගේ සුබ සාධනය වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම කරනවා.

කීයක් හරි හොයා ගන්න ඇඟ මස විකුණන කාන්තාවෝ විශාල වශයෙන් මේ අවට ගැවසෙනවා. ඒ අයව එන්නත්කරණයට යොමු කරන්න කටයුතු කරනවා. අද මට ආදායම් මාර්ගයක් නෑ. නමුත් කාගේ හරි සහයෝගයක් ලබාගෙන හරි මම ඒ දේවල් කරනවා. මම මේකෙ පදිංචිකාරයෙක් විදිහට හිතල ඒ දේවල් කරනවා. ඌරුමුත්තේ ඉඳලා කොළඹ ඇවිත් සල්ලිම හෙව්වනම් මටත් බිල්ඩිං හදන්න තිබුණා. හිත කියන්නෙ මහ පුදුම දෙයක් මහත්තයා. සමාජයේ උසස් මහත්වරු වගේම පච්ච කොටපු හයයි හතරේ ගණංකාරයෝ එක්කත් මම ඇසුරු කරල තියෙනවා. නමුත් මම නොමඟ ගියේ නෑ.

කොළඹ වටරවුම්වල පාලම් යට නිදාගත්ත තමයි. වරදට පෙළඹුණේ නැහැ. ඒ හින්ද අදත් මම මිනිස්සුත් එක්ක ඉන්නවා. බ්‍රිතාන්‍යයයේ රජ පවුල එක්ක ලිපි හුවමාරු කරන පුද්ගලයෙක් විදිහට මම නිතරම රාජකීය ජීවිතයක් ගත කරන්න ආසයි. පාරේ මුද්දර විකුණපු මම බෝධිරාජ මාවතේ කඩයක් දැම්මේ ඒ නිසයි. ඒකත් පිච්චුණා. සමහරවිට කවුරු හරි පුච්චන් ඇති. නමුත් මම නිතරම හිතන්නෙ පිච්චුණා කියලා. ඊයේ පෙරේදා කඩේ ඉදිකරල තිබුණ භූමිය කොල්ලකන්න තව පිරිසක් ආවා. මගේ ඔළුව පැළුවා. මම පොලිසියට ගිහින් මගේ ඔළුව පැළුව මිනිහට සමාව දීලා බේරාගෙන ආවා. මං කාටවත් භය මිනිහෙක් නොවෙයි. නමුත් අතින් පයින් ප්‍රශ්න විසඳන්න බෑ කියල අත්දැකීමෙන් මම දන්නවා.

ඒකයි නිතරම සාමයට අත වනන්නේ. කොළඹ මහ නගර සභාව ඒ වගේම ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන් විදුලිබල මණ්ඩලය මං වැටුණ හැම වෙලාවේම මට උදව් කළා. ඒ ආයතනවලට ඒ ඒ නිලධාරි මහත්වරුන්ට මං හිස නමල ගෞරව කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා. පික් පොකැට්කරුවන්, ජල්තරකාරයන් නිතර ගැවසෙන පිටකොටුව බෝධිරාජ මාවත රැකබලා ගන්නා නිල නොලත් ආරක්‍ෂකයා ඌරුමුත්තේ ජිනදාස ය. ප්‍රදේශයේ සමාජ සේවා කටයුතු ආදියේ දී පමණක් නොව, පිටකොටුව බෝධිය මුල්කර ගනිමින් සිදුකරන ආගමික කටයුතු ආදියේ දී ඔහු සැදැහවත් උපාසකයෙක්ය.

දුරබැහැර සිට කොළඹට පැමිණෙන කොළඹට ආගන්තුක මිනිසුන්ගේ මඟ පෙන්වන්නා වන්නේ ද ඔහුය. ඒ සියලු කටයුතු ඔහු විසින් ඉටුකරනු ලබන්නේ සද්භාවයෙන් යුතුව ය. වසර 50 ක් තිස්සේ පිටකොටු ගෙන්දගම් පොළොවට පෙම් බඳින ජිනදාස පිටකොටුවට පුරාවෘත්තයක් බඳු චරිතයක් වන්නේ එබැවින්ය. රසබර ඉතිහාස කතා ඉතා රසවත් ලෙස පැවසීමට සමත් ඌරුමුත්තේ ජිනදාස සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන භාෂා ත්‍රිත්වයම චතුර ලෙස හැසිරවීමට සමත් අයෙක්ය.

තවත් බොහෝ දේ ඔහු සමග කතා බහ කිරීමට ඇතත් කාලය ඊට හරස් වෙමින් ඇත. දවසේ හිරුඑළිය මළානික පඬු පැහැයට හැරෙමින් බටහිර අහස කෙළවරින් බැස යෑමට ආසන්නය. යෝධ විදුලි කණු මත සවිකර ඇති විදුලි පහන් එකින් එක දැල්වෙමින් පවතින්නේ රාත්‍රිය උදාවීමට ආසන්න බව ඉඟි කරන්නාක් මෙන්ය. ඌරුමුත්තේ ජිනදාසට අයත් ලෑලි මාලිගයෙන් පහළට බැසිය යුතු පඩිපෙළ පෙනෙන නොපෙනෙන ගානට අඳුර දැඩිවෙමින් ඇත. මා සමග පඩි පෙළ බැස නැවත බෝධිරාජ මාවතට පිවිසි ජිනදාස ආසන්න වශයෙන් සඳහන් කර සිටියේ අපි නැවත හමුවෙමු මහත්තය යනුවෙන්ය. එසේ පැවසූ ඔහු හිස ගිනි ගන්න මිනිසුන් සේ දෙනෝ දහසක් යන එන පිටකොටුව බෝධි රාජ මාවත මහ සෙනඟ අතරේ නොපෙනී යන්නට විය.

රුවන් ජයවර්ධන