මගේ ජීවිතයේ තැලිලා පොඩිවෙන්න ඕනෑ කාලයේදී තැලිලා පොඩිවෙලා තියෙන්නේ – චමත්කා ලක්මිණී

“මම හරි ස්ට්‍රෝං නැතිනම් යකඩ ගැහැණියක් කියලත් සමහරු කියනවා.සමහර ප්‍රශ්නවලදී මම හරි සැහැල්ලුවෙන් මුහුණ දෙනවා කියලා මගේ යාළුවෝ නිතරම කියනව.මොකද මගේ ජීවිතයේ තැලිලා පොඩිවෙන්න ඕනෑ කාලය තැලිලා පොඩිවෙලා තියෙන්නේ.මම එතැනින් එහාට මේ එන ප්‍රශ්න, ප්‍රශ්න නෙමෙයි කියන විදිහට තමයි හැසිරෙන්නේ….”සුදේශ් වසන්ත පීරිස් අධ්‍යක්‍ෂණය කළ හුස්ම චිත්‍රපටය නිසා චමත්කා ලක්මිණී ගැන පසුගිය කාලයේ හරි හරියට කතාබහට ලක්වුණා.මේ ඇය සමඟ සති අන්ත පුවත්පතක් යෙදුණු සොඳුරු කතාබහක්…

දිගු කාලෙකට පස්සේ නේද චිත්‍රපටයක් තිරගත වෙන්නේ?

ඇත්තටම ටික කාලයක් විවේකයක් ගත්තේ මට බබා හම්බ වුණ හින්දයි. මේක ටිකක් වෙනස්ම විදිහේ කතාවක්. ඒකයි කැමැති වෙන්න හේතුවුණේ. හුස්මෙන් පස්සේ මට ඕනෑ වුණා ආපහු වෙන කැරැක්ටර් එකකින් එළියට එන්න. මම හිතනවා මේක මගේ හොඳ හැරවුම් ලක්‍ෂයක් වේවි කියලා මගේ රංගන පරාසය බලන්න.

කලණ ගුණසේකර වගේ ප්‍රවීණ නළුවෙක් එක්ක නේද වැඩකරන්න හම්බවුණේ?

මම වැඩ කරන්න සෑහෙන කාලයක් බලාගෙන හිටපු චරිතයක් තමයි කලණ ගුණසේකර කියන්නේ. ඇත්තටම මේ වැඩේ ඇතුළේ මාව සරුංගලයක් වගේ නූල ඔහු තියාගෙන මට ඕනෑ විදිහට හැඩ තියා ගෙන පියාඹන්න ඉඩදීලා හිටියා. කලණ වැනි දැවැන්තයෙක් එක්ක වැඩකරන්න ලැබීම මරේ මරු. කලණ අයියා ගැන මට කියන්න වචන නැහැ..

සැමියා සහ පුතු සමඟ ගෙවන ජීවිතය

සැමියා නම් ලංකාවේ නැහැ. සීමන් කෙනෙක් හින්දා එයාගේ ජීවිතය මුහුදේම තමයි. හැබැයි මම හිතනවා මම කරන වැඩත් එක්ක මගේ පවුල යම්කිසි තැනක තියෙනවා, මේ ක්‍ෂේත්‍රයේ අනෙක් අයගේ පවුල් සංස්ථාවලට වැඩිය. මට උපරිම නිදහස තියෙනවා රංගනය තුළ ඕනෑම තරමකට විහිදී ගිහිල්ලා වැඩ කරන්න.

සැමියාගෙන් සීමාවන් තියෙනවාද?

නැහැ. මම කොහොමත් මේ ක්‍ෂේත්‍රයට එද්දී මට සීමාවක් දාගෙන ආපු කෙනෙක් නෙමෙයි. මට පිටපත් අතට ලැබුණහම සැමියාගෙන් අහන්නේ නැහැ මේක කරන්නද කියලා. මම සාමාන්‍යයෙන් පිටපතක් ගැන කතා කරන්නේ ක්‍ෂේත්‍රයේ අය සමඟ විතරයි. මම කවදාවත් මගේ හස්බන්ඩ් එක්ක පිටපත ගැන කතා කරන්නේ නැහැ.

හුස්ම චිත්‍රපටය නරඹලා සැමියා මොනවද කිව්වේ?

මාධ්‍ය ප්‍රදර්ශනයට මම සැමියාව එක්කගෙන ගියා. මම හස්බන්ට් ළඟට ගියේ බයෙන්. මොකද මොනව ගේ ෆීඩ් බැක් එකක් එයිද දන්නේ නැහැ කියලා. එයාගේ ප්‍රතිචාර වලින් මට තේරුණේ ජීවිත කාලයම රංගන ක්‍ෂේත්‍රයේ මට නියැළෙන්න පුළුවන් කියලා. මට ඒ නිදහස තියෙනවා. මට ඕනෑ වයසකදී මට ඕනෑ චරිතයක් රඟපාන්න සැමියා මට නිදහස දීලා තියෙනවා.

හුස්ම චිත්‍රපටයේ ඔබේ චරිතය ගැන අදටත් කතාබහ වෙනවා?

හුස්ම කියන්නේ චමත්කා ලක්මිණී කරපු එක චරිතයක්. ඒ ඇරෙන්න ප්‍රේක්‍ෂකාගාරය දකින එක චරිතයක්වත් නෙමෙයි මම ගෙවන සාමාන්‍ය ජීවිතය. ඔය චරිත වලින් මාව මනින්න බැහැ.

චමත්කා මොනවගේ චරිතයක්ද?

මට ටිකක් කේන්ති යනවා. හැබැයි මම සෝඩා බෝතලය වගේ. ඒක මගේ වටේ ඉන්න යාළුවෝ වගේම සැමියා දන්නවා. හැබැයි කේන්ති යන්නෙත් බොරුවක් කෙරුවොත් විතරයි. ඒ ඇරෙන්න මම හැම තිස්සේම කේන්තියෙන් ඉන්න චරිතයක් නෙමෙයි. හැමෝමත් එක්කම හිනාවෙලා ඉන්න චරිතයක්.

සැමියා මුහුදේ ඔබ ගොඩබිම. මේ ජීවිතය මොනවගේද?

අපි දෙන්නාගේ විශ්වාසය තියෙන්නේ නූලක් වගේ හිඩැසකින්. මම කොහොමටත් බැඳීම් වලට බය චරිතයක් නෙමෙයි. අනික මහලොකුවට බැඳීම් තියාගන්න ආසා චරිතයක් නෙමෙයි. මම මගේ දරුවා එක්ක වුණත් අනෙක් අම්මලා වගේ ලොකු බැඳීමක් තියාගන්නේ නැහැ. ඒක ඇත්තටම තියාගන්න බැහැ. මොකද මම කරන වැඩත් එක්ක ඒක කරන්න බැහැ.

චමත්කා කැමැති සිනමාවටද?

ඔව්. මම කැමැති සිනමාවට. අවුරුද්දට එක චිත්‍රපයක් රඟපාලා ගෙදර හිටියත් කමක් නැහැ.

චමත්කා රළු චරිතයක් කියලත් සමහරු කියනවා?

ඔව් වෙන්න ඇති. මම හරි ස්ට්‍රෝං නැතිනම් යකඩ ගැහැණියක් කියලත් සමහරු කියනවා. සමහර ප්‍රශ්නවලදී මම හරි සැහැල්ලුවෙන් මුහුණ දෙනවා කියලා මගේ යාළුවෝ නිතරම කියනවා. මොකද මගේ ජීවිතයේ තැලිලා පොඩිවෙන්න ඕනෑ කාලය තැලිලා පොඩිවෙලා තියෙන්නේ. මම එතැනින් එහාට මේ එන ප්‍රශ්න, ප්‍රශ්න නෙමෙයි කියන විදිහට තමයි හැසිරෙන්නේ.

දිනේෂ් විතාන – මීවිත