තමන්ගේ ගහේ මල් පිපෙන බව තමන්ට දැනෙනවා නම් ආදර සම්බන්ධතාවයක් පවත්වන්න ඕනි -මධුමාධව අරවින්ද

ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක් වන ඔහු සමාජ මාධ්‍ය තුළ නිර්මාණශීලී ලියන්නෙක් විධියටත් ඉතාම ජනප්‍රියයි. ‘ලඹ සවන් රන් පටින්’, ‘මුහුද හඬන’ වැනි ගීතවල නම ඇසූ පමණින්ම මතකයට නැඟෙන ඔහු මධුමාධව අරවින්දය.

කොහොමද මේ දවස්වල ජීවිතේ

ලංකාවේ අනිත් හැමෝම වගේම ‘මොකක්ද මේ රටට වෙන්න යන්නේ? අපිට මොනවද වෙන්නේ යන්නේ? වගේ දේවල් හිත හිතා ඉන්නවා.

මුහුණුපොතේ ඔබ ලියන රසවත් දේවල් එකතු කරලා පොතක් හෝ වෙනත් නිර්මාණයක් එළිදක්වන්න අදහසක් නැද්ද?

ගොඩක් අය කිව්වා පොතක් ලියන්න කියලා. ඒත් මුහුණුපොත පිළිබඳ මගේ තිබෙන්නේ වෙන සංකල්පයක්. ඒක ආගමක්වත්, පන්සලක්වත් නෙවෙයි. ඒක ඇත්තක් හෝ බොරුවකුත් නෙමෙයි. විනෝද සඳහා භාවිත කරන්න දීපු මෙවලමක්.

මේ දිනවල කලා කටයුතුවල ඔබ දකින්න ලැබෙන්නේ නැහැ. මොකක්ද එයට හේතුව?

පසුගිය සෙනසුරාදා මගේ ජීවිතේ අමතක නොවන දවසක්. මං තරගවලට ඉදිරිපත් වුණත් බොහෝ විට අතරමඟදී ඉවත් වෙනවා. මොකද මට ඇති කියලා හිතුණම ‘ඇති’ ම තමයි. සියලු දෙනා දකුණට හැරෙද්දී මම හැමදාම වමට හැරුණා. මොකද එතකොට මට දකින්න ලැබෙන දේවල් අලුත් හින්දා. ඉතින් මේ සෙනසුරාදාත් එහෙම දෙයක් සිද්ධ වුණා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට බල්ලෙක් සමඟ ගායකයෙක් වේදිකාවට ගොඩ වුණා. ඒ මමයි. මම මගේ සුරතලා එක්ක 90 දශකයේ ප්‍රසංගයේදී සිංදු කිව්වා.

ආදරය සහ විවාහය පිළිබඳ මොකක්ද ඔබේ අදහස?

අපි දැන් වැඩිහිටියෝ. පොඩි කාලේ නම් සුරංගනා කතා කිව්වා. ආදරය කියන්නේ බැඳීමක්. විවාහය කියන්නෙම ගැහැනියක් හා පිරිමියෙක් අතර තිබෙන සමහරු කුණුහරුප කියලා කියන සමහරු රාගය කියලා කියන ඉතා විශාල බැඳීමක්. ඉතින් ඒක හැමදාම හැම වෙලේම සාම්ප්‍රදායික විධියට දෙන්නෙක් එකතු වුණා මැරෙනකම් එකට ජීවත් වෙනවා කියන හින්ද ෆිල්ම් එක ඇත්ත ජීවිතේ ඇතුළේ නැහැ. තමන්ගේ ගහේ මල් පිපෙන බව තමන්ට දැනෙනවා නම් ඒ ගහ තමන්ට හෙවණ දෙනවා නම් ඒ විවාහය හෝ ආදර සම්බන්ධය පවතින්න ඕනි. ගස්වලට වතුර දාන්නේ නැතිව නිකන්ම තිබුණාම ඒවා නැති වෙනවා. එහෙම නැති වුණාට පස්සේ කාමර දෙකකට වෙලා ලෝකෙට පේන්න කරන විගඩම දැක්කම හිනා යනවා. මං දන්න මගේ සමහර මිත්‍රයෝ ඉන්නවා නිදියන්නේ කාමර දෙකක. හැබැයි ගෙදරින් එළියට බහිනකොට මිනිස්සුන්ව රවට්ටනවා. ආදරය , විවාහය කටු ඔටුන්නක් වගේ ඔළුව උඩ තියාගෙන ඉන්න ඕනි නැහැ. නොගැළපෙනවා නම් දැනෙන්නේ නැත්නම් ඇඟිලි ස්පර්ශ වෙනකොට අප්‍රියයි නම් මම කියන්නේ ඒ ගහෙන් බැහැලා යා යුතුයි. ආදරේ නිසා ජීවිතේ කරුමයක් කරගන්න එපා. මොකද එහෙම තීන්දු තීරණ ගත්තු සමහර මිනිස්සුන්ට පසු කාලෙක ඊට වඩා හොඳ වසන්ත කාලයක් හම්බවෙනවා. මම එහෙම කෙනෙක්. ඒ ගහෙන් බැස්ස හැමෝටම වරදින්නේ නැහැ. ඉන්නේ ටික කාලයයි. ප්‍රේමය ක්‍රියාපදයක්. ඒක ක්‍රියාවේ නැති නම් අතහැරිය යුතුමයි.

මව්බිම පුවත්පත