හරියට දැනෙන තැනදි ඒ ගැහැනියක්ද පිරිමියෙක්ද කියන දේ අදාළ නෑ – උමා අසේනි

ඇය රංගන ශිල්පිනියක්. හඬකැවීම් ශිල්පිනියක්. ලේඛිකාවක් වගේම නිවේදිකාවක්. අෑ ක්ෂේත්‍ර කිහිපයකම බහුවිධ චරිතවලට උපරිම සාධාරණයක් ඉටු කරන දක්ෂ නව පරපුරේ  කලාකාරිනියක්. කලා ජීවිතයේ තතු සමඟ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ කතාබහ කරන්නට ඇය මෙවර ‘හදගැස්ම’ සුහද පිළිසඳර සමඟ එකතු වුණා. උමා අසේනි කොහොමද මේ දවස්වල ජීවිතේ? මේ දවස්වල ආපහු වේදිකා නාට්‍ය  පෙන්වන්න පටන් ගත්තා. ඒ වගේම රූගතකිරීම් සහ නිෂ්පාදන කටයුතු පටන් අරන් තිබෙනවා.

උමා අසේනි කියන්නෙ ක්ෂේත්‍ර ගණනාවක දක්ෂතා තිබෙන චරිතයක්.  ඔබ කැමැති ඔබව කොයි විධියට හදුන්වනවාටද රංගනයද, නිවේදනයද,  හඬකැවීමද,  ලේඛනයද කියන දේ නෙමෙයි, උමා කියලා කියන එක ඇතුළෙ ඔය හැමදේම තිබෙනවා.  මං එහෙම එකක් විතරක් විශේෂ කරලා කතා කරන්න කැමැති නැහැ. හැම ක්ෂේත්‍රයකම එක වගේ ආදරයකින් නියැළෙන නිසා මාව හදුන්වන්න තිබෙන හොඳම විධිය තමයි උමා කියන්නෙ.

ජීවිතයේ අඩියට වැටුණ කාන්තාවකගේ පෞරුෂය ගොඩනඟන්න සැබෑ ප්‍රේමයකට පුළුවන්.  පිච්චිගේ චරිතයත් ඒ වගේ. ඒ ගැන කතා කළොත්? තමන්ව හරියට දැනෙන තැනදි ඒ ගැහැනියක්ද පිරිමියෙක්ද කියන දේ අදාළ නෑ. ඕනිම කෙනකුව ගොඩනඟන්න ප්‍රේමයට පුළුවන්.  කතාවට අදාළව ගත්විට පිච්චිව ගොඩනඟන්නෙ කෙටිහාමිගෙ ප්‍රේමය විසින්. ගෙදරින් ඇයට ලැබෙන අත්දැකීම් සහ සමාජය තුළදී ඇයව අතවරයට ලක් වීම වගේ දේවල් සමඟ ඇය තමන් සම්බන්ධයෙන් සහ වටපිටාව සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නැතිව ජීවත් වුණ තරුණියක්. අවසානයේ ඔබ දකින පිච්චිව ගොඩනඟන්නෙ කෙටිහාමිගේ ප්‍රේමය විසින්. 

උමා අසේනි කියන්නෙ සරල තරුණියක්. කරාබු  මාල දාන්නත් අකැමැති ඒ නිසාද? ඔව්. සාමාන්‍යයෙන් මම කරාබු මාල දාන්න කැමැති නැහැ. ඒ වගේම මම අඳින පලඳින විධිය සීමා වෙලා නැහැ. හිතුණ වෙලාවට හිතුණ විධියට අඳිනවා. එක ඩ්රෙස්කෝඩ් එකකට සීමා වෙලා නැහැ. සාමාන්‍යයෙන් මං සැහැල්ලු ඇ¾දුම් අඳින්න කැමැති කෙනෙක්.  මොකද මං හිතන්නෙ ඇ¾දුම කියන එක අපේ මනසට සෑහෙන්න බලපානවා. ඉතින් මගේ මනස නිරවුල්ව තබා ගන්න පුළුවන් නම් ඇ¾දුමේ ඉඳලා මං ඒ පිළිබඳ හිතනවා. ඒ නිසා ලොකු ආයිත්තම් පටලගෙන ඉන්න මං කැමැති නැහැ. පුළුවන් තරම් සැහැල්ලුවෙන් සරලව අඳින එක තමයි මගේ විධිය. 

ඔබ රංගනයෙන් දායක වන අලුත් ටෙලි නිර්මාණයක් එන්න තිබෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒ ගැන කිව්වොත්? සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරන ‘ෆෝචූන් රෙසිඩන්සි’ තමයි ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලිනාට්‍ය. මේ වෙනකොට එම ටෙලිනාට්‍යයේ වැඩ පටන්ගන්න සූදානමින් ඉන්නවා. දැනට ඒක තමයි අලුත් ටෙලිනාට්‍යයක් විධියට එන්න තිබෙන්නෙ.

පිච්චි වැනි ගැමි චරිතයකින් මිදී කළු චරිතයක් හෝ බටහිර පන්නයේ තරුණියකගේ චරිතයක් රඟපාන්න ලැබුණොත් පිච්චිට ආදරය කරපු ප්‍රේක්ෂක ආදරය සමබරව තියාගන්න හැකිවෙයිද? කළු චරිතයක් ලැබුණොත් අයහපත් ප්‍රතිචාර ලැබෙනවා කියන්නෙම ඒ චරිතය සාර්ථකයි කියන එක. ප්‍රේක්ෂකයො ආදරය කරන්නෙ අදාළ චරිතයට. උමා කියන චරිතයට ආදරය කරන අය ඇති. එහෙත් මම රඟපාන චරිතයට තමයි ප්‍රේක්්ෂකයො ප්‍රතිචාර දක්වන්නෙ. මට හොඳ ප්‍රතිචාර විතරයි ලැබෙන්න ඕනි කියලා හිතුවොත් අතිශය සීමිත චරිත ප්‍රමාණයක් තමයි මට රඟපාන්න වෙන්නෙ. එකම හැඩයකට හෝ එකම රාමුවකට සීමා වෙන්න මං කැමැති නැහැ. ඒ ඒ චරිතය ප්‍රේක්්ෂකයො දකින විධියට ප්‍රතිචාර දක්වයි. මං ඒ ප්‍රතිචාර කැමැත්තෙන් භාර ගන්නවා. 

චමෝදි පෙරේරා