වසර 130කට පෙර සිදුවූ මහා දාන­පති චාල්ස් සොයි­සාගේ අද්භූත මර­ණය

චාල්ස් හෙන්රි ද සොයිසා දහනවවන සියවසේ මැද භාගයේ ලංකාවේ විසු නමගිය මහා දානපතියෙකි. වසර එකසිය තිහකට පෙර සිදු වූ ඔහුගේ අද්භූත මරණය අදටත් කුතුහලය දනවන්නකි. රටේ ඉහළම ප්‍රභූ පැලන්තිය සමඟ පමණක් නොව, එංගලන්ත රජපවුල සමඟ ද සම්බන්ධකම් පැවැත්වූ ඔහු ජලභීතිකාවෙන් මියයාම බොහෝ දෙනෙකු කම්පනයට පත්කළා පමණක් නොව, ඔවුන්ට එය අදහා ගත නොහැකි විය. ලියුම්කරු කුඩා කල මේ කතාව මුලින්ම ඇසුවේ සිය මව් පාර්ශ්වයේ මිත්තනිය ගෙනි. මේ ගැන දිගු විස්තරයක් ඇත්තේ වසර 1904 දී සී. දොන් බස්තියන් විසින් ලියා පළකරන ලද “චාල්ස් හැන්රි ද සොයිසා ගේ ජීවිත කතා ශරීරය” නම් කෘතියෙහිය.

අති සාර්ථක වැවිලි කරුවෙකු සහ ව්‍යාපාරිකයකු ලෙස ඉමහත් ධනස්කන්ධයක් උපයාගත් සොයිසා මහජන ශුභ සිද්ධිය සඳහා නොමසුරුව මුදල් වියදම් කළේය. ඔහු තරුණ වයසේ සිටම පරිත්‍යාගශීලී පුද්ගලයෙකු විය. අද කොළඹ ඇස් වාට්ටුව ලෙසින් හැඳින්වෙන ස්ථානයට එනම ලැබීමට හේතුවූ මෙරට පළමු ඇස් රෝහල සහ ද සොයිසා මාතෘ නිවාසය ද ගොඩ නැගුනේ ඔහුගේ වියදමිනි. මොරටුවේ වේල්ස් කුමර, කුමරි විදුහල්, බොරැල්ලේ පොදු සුසාන භූමිය පිහිටුවීම ඔහුගේ අනෙකුත් සේවාවන් අතර වෙයි.

ගාලු මුවදොර, කොල්ලුපිටිය කොටුව සහ පිටකොටුව යන පෙදෙස්වල වාණිජ ගොඩනැගිලි බොහොමයක්ද ඉදිවුයේ ඔහුගේ වියදමෙනි. මෙරට පළමු බැංකු කරුවා ලෙස වසර 1860 මහනුවර බැංකුව සහ එහි ශාඛාවක් පිටකොටුවේ පිහිටුවීමද ඔහු අතින් සිදුවිය. පළමු වරට මෙරට විශ්‍රාම වැටුප් ක්‍රමයක් (සිය සේවකයන්ට) හඳුන්වාදුන්නේ ද චාල්ස් ද සොයිසාය. රජයේ සහ වෙනත් ආයතන එම ක්‍රමයට අනුගත වුයේ ඉන් පසුවය. ඔහු ලංකාවේ පමණක් නොව එංගලන්තයේ රෝහල් වලට ද මුදල් පරිත්‍යාග කළේය.

චාල්ස් ද සොයිසා මහතා මුදලිවරයෙකු වූ වරුසහෙන්නැදි ජෙරෝනිස් ද සොයිසා දිසානායක සහ ෆරැන්සෙස්කා ද සොයිසා ළමාතැනීගේ එකම පුතණුවන් ලෙස වසර 1836 මාර්තු 3 වැනිදා මොරටුවේ උපත ලැබීය. මොරටුවේ පල්ලියගොඩැල්ල බෞද්ධ විහාරයේදී මුලික අධ්‍යාපනය ලැබූ ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ කොළඹ ඇකඩමිය (පසුකලෙක රාජකීය විදුහල) සහ ශාන්ත තෝමස් විදුහල්වලින්ය. භක්තිමත් ඇන්ග්ලිකන් (එංගලන්ත සභා) කිතුනුවෙකු වූ ඔහු මොරටුවේ කැතරින් ද සිල්වා දෙවාදිත්‍ය මෙනෙවිය සමඟ 1863 පෙබරවාරි 4 දා විවාහ වී පසුව කොළඹ කොල්ලුපිටියේ බගතලේ වලව්වේ පදිංචි විය. අදත් එම පෙදෙස බගතලේ නමින් හැඳින්වෙයි.

රාජකීය භෝජන සංග්‍රහය

සොයිසාගේ දිවියේ සුවිශේෂ සිද්ධියක් වුයේ 1870 මාර්තු-අප්‍රේල් දෙමසේ එඩින්බරෝ හි ආදිපාදයා වූ එංගලන්තයේ ඇල්ෆ්‍රඩ් කුමරු එවකට බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ලංකාවේ කළ සංචාරයේදී ඔහු වෙනුවෙන් රාජකීය භෝජන සංග්‍රහයක් පැවැත්වීමට අවස්ථාවක් ලබාගැනීමයි. ඇල්ෆ්‍රඩ් කුමරු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නායිකාව වූ වික්ටෝරියා මහ රැජින ගේ දෙවන පුත්‍රයාය. සොයිසා භෝජන සංග්‍රහය සඳහා මෙරට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හර්කියුලිස් රොබින්සන් මගින් කුමරුට ආරාධනා පත යැවුයේ ඔහු මෙරටට පැමිණීමට තෙමසකටත් කලින්ය.

ඇල්ෆ්‍රඩ් කුමරු ආරාධනය පිළිගත් විගසම සොයිසා කාමර සියයකින් යුත් මන්දිරය (පසු කලෙක ඇල්ෆ්‍රඩ් මන්දිරය) ගොඩ නැගීම ඇරඹීය. ඒ සඳහා ඔහු යොදාගත්තේ අක්කර එකසිය දොළහක් පමණ වූ බගතලේ වලව්ව පිහිටි විශාල බිමය. එහි එක් පැත්තක් කොල්ලුපිටිය ගාලු පාරේ සිට තර්ස්ටන් පාර දක්වාත් අනෙක් පැත්ත බගතලේ පාරේ සිට බම්බලපිටියේ පාසල් මාවත දක්වාත් විහිදුනි.

ඉක්මනින්ම ගෘහ නිර්මාණ ශිල්පීන්, කම්කරුවන් රැසක් දිවා රෑ නොබලා සේවයේ යෙදවූ සොයිසා දින අසුවකින් මන්දිරය ගොඩනගා නිම කරවීය. එංගලන්තයෙන් සහ බෙල්ජියමෙන් ගෙන්වූ විශේෂ ලැකර් සායම් එහි බිත්තිවල ආලේප කරන ලදී. ඇල්ෆ්‍රඩ් කුමරුට ගෞරව පිණිස එය ‘ඇල්ෆ්‍රඩ් හවුස්’ යනුවෙන් නම් කෙරුනි. එය මෙරට ගොඩනැගුනු විශාලතම මන්දිරය වූ අතර අදටත් එම පෙදෙස හැඳින්වෙන්නේ ‘ඇල්ෆ්‍රඩ් මන්දිර උද්‍යානය’ යන (Alfred House Gardens) නමිනි. එදා තනි යෝධ ගොඩනැගිල්ලක් පිහිටි එම බිමේ අද නිවෙස් දෙසියයකට වඩා ඇත.

ඇල්ෆ්‍රඩ් කුමරුට අවශ්‍ය හැඳි ගෑරුප්පු රන්කරුවකු ගෙන්වා රනින් නිම කෙරුනි. ඒ භාණ්ඩ අතර තැටි දෙකක්, ෂැම්පේන් පානයට භාජන තුනක්, ගෑරුප්පුවක්, පිහියක් සහ හැන්දක් ද ඇතුළත් විය. වසර 1870 අප්‍රේල් 22 දින ඇල්ෆ්‍රඩ් හවුසියේ පවත්වා ඇති සාදය ඇල්ෆ්‍රඩ් කුමරුගේ සිත්ගත් එකක් වූ බව කුමරුගේ දින පොතේ සටහන් කර ඇත. එය රාජකීය ලේඛනාගාරය සාක්ෂි දරයි. නැටුම් – ගැයුම් – වැයුම් නොඅඩුව මුළු රැයක් පහන්වන තුරු පැවැත්වූ අතිශය චමත්කාර ජනක වූ සැණකෙළියට කොල්ලූපිටියේ පිලිප්පු සිඤ්ඤෝ විසින් රචනා කරන ලද ‘ඇහැලේපොළ නාඩගම’ රඟදැක්වූ බවට සාක්ෂි ඇත.

එවකට තිස් හතර හැවිරිදි සොයිසා මේ උත්සවයෙන් පසු එම වසරේම එංගලන්තයට ගියේය. ඔහු නැවත සියරට පැමිණියේ විසි වසරකට පසුවය. ඒ වනවිට ඔහුගේ වයස පණස් හතරකි. ජ්‍යොතිෂය දැඩි ලෙස විශ්වාස කළ ඔහු මෙරටට පැමිණි සැණින් ගල්කිස්සේ තම්බි අප්පු ගුරුතුමාට පණිවුඩයක් යවා ගෙන්වාගෙන ඔහු ලවා තම කේන්දරය පරීක්ෂා කරවීය. තම්බි අප්පු ගුරුතුමා සොයිසාගේ ‘වේලාව’ බැලීමට ඇල්ෆ්‍රඩ් මන්දිරයට නිතර ආගිය අයෙකි.

කේන්දරය බැලූ තම්බි අප්පු පැවසුවේ සොයිසාට ඉතා අපල කාලයක් උදා වී ඇති බවත් විෂ දෝෂ සහ සිවුපා සතුන්ගෙන් බියකරු අනතුරු විය හැකි විය හැකි බවත්ය. වසර 1890 ජුලි 30 වැනිදා තම්බි අප්පු සමඟ සොයිසා හමුවූ පුලිනතලාරාමාධිපති වැලිගම ශ්‍රී සුමංගල ගණාචාර්ය නායක හිමියන්ද එය සනාථ කළේය.

පසුදා අලූයම සොයිසා සිහිනෙන් බියවී කෑගසනු ඇසී ඔහුගේ හිතවත්ම සේවකයා සිය හාම්පුතා වෙත දිව ගියේය. සිහිනෙන් බිය වී සිටි සොයිසාගේ සිරුර දහදියෙන් තෙත් වී තිබිණ.

“උස දත් ඇති දිග නියපොතු ඇති කළු යෝධ මිනිහෙක් ආයුධත් අරගෙන මාව හපා කන්න පැන්නා” යයි කියූ ඔහු සේවකයා ලවා වතුර පිරවූ සෙම්බුවක් ගෙන්වාගෙන එය උගුරට දෙකට බීවේය.

මේ කාලයේ මන්තර ගුරුකම් ගැන සුප්‍රසිද්ධව සිටි අයෙකි වුයේ බත්තරමුල්ලේ ශ්‍රී සුභූති හිමි. සොයිසා මන්තර ගුරුකම් ගැන එතරම් සැලකිල්ලක් දැක්වූ පුද්ගලයකු නොවූ නමුත් සුභූති හිමියන්ගේ කෙරුවාවන් ගැන ඔහු හොඳින් දැන සිට ඇත.

සුභූති හිමියන් හා ගැටුම

දිනක් තම මන්දිරයේ සඳලූතලයට වී පාර දෙස බලා හුන් සොයිසා මහතාට දැකගත හැකි වූයේ පාරේ වඩින බත්තරමුල්ලේ සුභූති හිමියන්ය. ඒ දුටු ඔහු උන්වහන්සේ තම මන්දිරය අසලින් යන විට හීන් හඬින් ‘මුත්තර බල්ලෙක් යනවා”යි කියා ඇත. ඒ නිග්‍රහය බත්තරමුල්ලේ හිමිට ඇසුනෙන් ඉන් ඉමහත් කෝපයට පත් වී තමන්ව සොයිසා මහතාට හොඳින් පෙනෙන තැනකට ගොස් දබර ඇඟිල්ල දිගු කොට මෙසේ තර්ජනය කර ඇත.

”හොඳයි මම උඹට මුත්තර බල්ලෙක් එවන්නම්!”

සොයිසාට එය හරිහැටි ඇසුනේ නැතත් උද්‍යානයේ මල්වලට සාත්තු කරමින් සිටි ඔහුගේ සේවකයෙකුට එය හොඳට ඇසුනි. හාමුදුරුවන්ගේ කෙරුවාව දත් ඔහු බියපත්ව ඒ බව සිය හාම්පුතාට සැල කළේය.

සොයිසාගේ ඉරණම විසඳූ සිදුවීම් මෙතැන් සිට වඩාත් හොඳින් විස්තර කරන්නේ බත්තරමුල්ලේ හිමියන් දැන හැඳින සිටි පොත් ප්‍රකාශකයෙකු වූ පී.කේ. ඩබ්ලිව්. සිරිවර්ධනය. වසර 1894 දී උපත ලබා 1982 දී මියගිය ඔහුගේ දෙමාපියන් සොයිසා පවුලේ සමීපතමයෝ වුහ. සිරිවර්ධන පවසන අන්දමට නැවත පන්සලට වැඩම කළ සුභූති හිමියන් තම කුටිය වසාගෙන දින ගණනාවක් ජප කරන්නට පටන් ගෙන ඇත.

ඉරණම විසඳූ සුරතල් බල්ලා

චාල්ස් ද සොයිසා බල්ලන්ට දැක්වූයේ දැඩි ඇල්මකි. ඔහුගේ ගෙදර ආදරයට ඇති කළේ ‘ටෙරියර්’ (Terrier) වර්ගයේ බැල්ලකි. දිනය මීට වසර එකසිය තිහකට පෙර 1890 අගෝස්තු 2 වැනිදාය. හිටි අඩියේ වියරු වැටුණු ඒ බැල්ලිය මුලින්ම ගොස් ඇත්තේ මන්දිරයේ කුස්සියට ය. එය දෙතුන් සියයකට වුවත් ආහාර පිසිය හැකි පන්නයේ එකකි. උගේ හැසිරීම නොඉවසූ අරක්කැමියා ඌට දර පොල්ලකින් පහර දී එළවා දමා ඇත. මන්දිරයේ එවකට සේවකයන් විසි ගාණක් සිට ඇති අතර විශාල ගෙවත්තේ සත්ව උද්‍යානයක් ද තිබී ඇත. නමුත් ඒ කිසිවකු සපා කන්නට ඌ ගොස් නැත.

එදින උදෑසන අවදි වූ සොයිසා ලී තරප්පුවේ පඩි එකින් එක බහින්නට විය. ඔහු දෙස බිම්මහලේ සිට බලාසිටි බැල්ලිය ක්ෂණයකින් එක හැල්මේ සොයිසා මහතාගේ බෙල්ල දෙසට පැන්නාය. අන්දමන්ද වූ සොයිසා උගේ බෙල්ල තදින් අල්ලාගත්තේය. ඌ පැන්නේ හුරතලයට නොවන බව ඒ මොහොතේ ඔහුට වැටහිනි. බැල්ලිය ඔහුගේ වම අත ලේ එනතුරු සපා කන්නට වුවාය. බැල්ල පැයකට වඩා සොයිසා මහතා බිම් මහලට එනතුරු තරප්පු පෙළ යට කුරුමානම් අල්ලමින් සිට ඇත.

“‘මූ දාන්න කූඩුවක් ගෙනෙන්!” සොයිසා බියපත්ව කෑගැසීය . මන්දිරයේ මුරකරු වහා යකඩ කූඩුවක් ගෙන වැර යොදා තවත් සේවකයෙකුගේද සහයෙන් බැල්ලිය කූඩුවට දමා ඉබි යතුරු දැමීය. වියරුවෙන් සිටි බැල්ලිය යකඩ කූරු හපා කමින් සෙම බේරන්නට වූවාය.

සොයිසා ගේ වැඩිමහල් දියණිය ජෝජිනා කැතරින් සමඟ විවාහ වී සිටි දොස්තර සොලමන් ප්‍රනාන්දු සිය මාමණ්ඩියගේ තුවාල වලට බේත් දමා, ඔහු සාපා කනු ලැබීමට පෙර බැල්ලියගේ හැසිරීම සම්පූර්ණයෙන් නිරීක්ෂණය කළේය. (කතෝලිකයෙකු වුවද පසු කලෙක 1915 ජාතිභේද කෝලාහලයේදී සිංහල බෞද්ධ නායකයින් සිරගත කිරීම ගැන බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ට විරුද්ධව දැඩි ලෙස කතා කතා කළේ සොලමන් ප්‍රනාන්දුය)

අවසන් මොහොත

සොයිසා ගේ රෝගී බව කෙමෙන් ජලභීතිකා තත්ත්වයකට හැරුනෙන් වෛද්‍ය සොලමන් ප්‍රනාන්දු ගේ නිර්දේශය වූයේ රෝගියා එවකට ප්‍රංශයේ සිටි ලෝකයේ අංක එකේ ජලභීතිකා විශේෂඥ වෛද්‍යවරයාට යොමු කිරීමය. ගුවන් යානා නොතිබූ ඒ කාලයේ ප්‍රංශයට නැව් නැගීමට සොයිසා ඇතුළු පිරිසට ටිකට් පත් ද මිලදී ගත්තේය. ඒ ගමනට එරෙහි වූ දේශීය වෛද්‍යවරු කියා සිටියේ දින ගණනක් ගතවන මුහුදු ගමන ජලභීතිකා රෝගීන්ට අකැප බවත් ඊට හොඳම බෙහෙත හෙළ වෙදකම බවත්ය. ඒ අනුව ප්‍රංශ ගමන අත්හරින ලදුව රෝගියාට දේශීය ප්‍රතිකාර කරන්නට තීරණය කෙරුනි

මේ අතර දිනෙන් දින කූඩු කළ බැල්ලියගේ උමතු ලක්ෂණ ඔඩු දුවන්නට විය. ඇස් බලන්නට බැරි තරම් රෞද්‍ර වූ අතර ජල වීදුරුවක් වත් කූඩුව අසලින් ගෙන යන්නට බැරි විය. සොයිසා මහතා හපා කා හත්වැනි දිනේ දී පැය ගණනාවක් පළාතම දෙදුරුම් කවමින් විලාප දුන් බැල්ලිය එක්වරම යකඩ කූරක් වියරුවෙන් හපා කමින් සෙම පෙරාගෙන කූඩව තුළම මැරී වැටුනාය. කූඩුවේ තිබූ ආහාර කිසිවක් නොකෑ බැල්ලිය දින හතක් නිරාහාරව සිට ඇත.

දේශීය වෙදකමට කොළඹින් බේත් සොයා ගැනීමට ඇති අපහසුව නිසා 1890 අගෝස්තු හයවනදා චාල්ස් සොයිසා මොරටුවේ වලව්වට ගෙන යන ලදී. මොරටු වලව්වේ වෙද මහතුන් තිදෙනෙක් සඳහා නවාතැන් සකස් කරන ලදී. 1890 අගෝස්තු නවවැනි වැනි දින මධ්‍යම රාත්‍රියේ මොරටු වලව්වම දෙවනත් කරමින් මහ හඬින් කෑ ගසමින් සොයිසා මහතා නින්දෙන් අවදි විය.

”කුරුල්ලන් කීප දෙනෙක් පියාසර කරමින් ඇවිත් මගේ තුවාලවලට කොටමින් හාරා කන්නට පටන් ගත්තා.” සොයිසා මහතා නිදිවරමින් තම කුටියේ සිටි වෙද මහතුන් තුන්දෙනාට පැවසීය. වෙද මහත්වරු මුහුණට මුහුණ බලාගත්හ. සිහින පලාපල හොඳින් දත් ඔවුහු සිහිනයේ ‘අසුබ පල’ අවබෝධ කරගත් නමුත් ඒ ගැන අර්ථකථනයක් දීමට නොගියහ. ඔවුහු වෙනදාටත් වඩා උනන්දුවෙන් බේත් කරන්නට වූහ.

1890 සැප්තැම්බර් 28 වැනි ඉරු දිනට උදා විය. සොයිසා එදා නියම පිස්සු බලූ ලක්‍ෂණ පෙන්වීය. බැල්ලිය සපා කෑ අත බලා ඉඳිත් දී ඉදිමෙන්නට වූ අතර වේදනාව ඉවසාගත නොහැකිව සොයිසා විලාප දුන්නේය. වතුරට බියවීම, වතුර ගිලීමට අමාරුව, එළිය අප‍්‍රිය වීම, ආදි සියලූ ලක්‍ෂණ පෙන්නුම් කරන බැවින් තමා මේ කෙමෙන් ළඟා වන්නේ මරණයට බව සොයිසා තේරුම් ගත්තේය. ඔහු වහාම මොරටුව ශුද්ධ එම්මානුවෙල් පල්ලියේ අධිපති ජොහානස් ද සිල්වා පූජකතැන සහ නීතිඥ ලෝස් වැන්කියු ලැන්බර්ග් යන දෙදෙනා කැඳවන ලෙස නියෝග කළේය.

පූජකවරයා ලවා ආගමික චාරිත්‍ර ඉටු කරවාගත් සොයිසා තම දේපළ නිරවුල්ව පවරා දීමට අන්තිම කැමැති පත්‍රය සකස් කරන ලෙස සිය නීතිඥයින්ට නියම කළේය. අන්තිම කැමති පත්‍රය අත්සන් කර ටික වේලාවකට පසු සොයිසා සියලූ උමතු බලූ ලක්ෂණ පෙන්නන්ට වූයේ බලා සිටියවුන් බියපත් කරමිනි. වියරු වැටීම වැළැක්වීම සඳහා ශරීර ශක්තිය අඩපණ කිරීමට දුන් බේත් වඩියක් හක්කේ තබාගෙනම ඔහු නින්දට වැටුනි. එදින රාත්‍රියේ නවයට එනම් 1890 සැප්තැම්බර් 29 වැනි සඳු දින චාල්ස් ද සොයිසා අවසන් හුස්ම හෙලීය. එදිනට ඔහුගේ වයස අවුරුදු පනස් හතරකුත් මාස හයක් විය.

මුඛ පරම්පරාවෙන් එන කතාව නම් බැල්ලිය පිස්සු වැටුනේ සුභූති හිමියන් ජප කර එවූ පිල්ලියක් ඌට ආරූඩ වීම නිසාය.

මොරටු වලව්වේ මළසිරුර තබා පැවැත්වූ ඔහූගේ අවමගුල ලංකා ඉතිහාසයේ වැඩිම පිරිසක් සහභාගි වූ අවමගුල බව ‘සොයිසා ජීවිත කතා ශරීරයේ’ සඳහන් ය. එංගලන්ත රජ මාලිගයේ නියෝජිත පිරිසක් ද අවමංගල්‍යයට එක්වී ඇත.

දිණමිණ ඇසුරිණි