ඊලඟ අනතුර ඔබේ නිවසෙන් විය හැකියි… ගෑස් සිලින්ඩර් පුපුරන ඇත්තම හේතුව

අපේ රටේ මේ දවස්වල වැඩිපුරම කතා බහට ලක්වෙන මාතෘකාව බවට පත්ව ඇත්තේ ගෑස් ආශ්‍රිතව සිදුවන පිපිරීම්.මෙයට හේතු විදිහට විවිධ විවිධ පාර්ශව විසින් විවිධ විවිධ කාරණා දක්වද්දී ඇත්තටම අපි හිතුවා ඒක පිටිපස්සෙ තියෙන නිරවද්‍ය සහ වගකිවයුතු මූලාශ්‍ර ඔස්සේ හරිම හේතු කාරණා මොනවාද කියන කාරණය ගැන පොඩ්ඩක් හොයල බලන්න. මොකද මේ දවස් වල බහුතරයක් දෙනා ඉන්නේ තමන්ගේ ගෙදර කොයි වෙලාවේ අනතුරක් වෙයිද නැද්ද කියන අනියත බියකින්. උදේ පාන්දරට මුළුතැන්ගෙයි බත ඉදවන අම්මාගෙ ඉඳන් හැමදාම හවසට හන්දියෙ නයිට් කඩේ කොත්තු ගහන කොත්තු බාස් ගේ ගෑස් සිලින්ඩරය වෙනකල්ම මේ පවතින අවදානම් තත්ත්වයනම් තවමත් පහව ගිහින් නැහැ.

සාමාන්‍යයෙන් අපේ රටේ භාවිත වෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් නිර්මාණය කරලා තියෙන්නෙ උපරිම බාර් දහසයක පීඩනයක් දරාගැනීමට පුලුවන් වෙන විදිහට. බාර් කියන්නෙ පීඩනය මනින ඒකකයක්. බාර් එකක් ගත්තොත් ඒක හරියටම මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනයට සමානයි. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය රසදිය මිලිමීටර් 760ක්. ඒ ඉතින් මේවයින් දහසයක පීඩනයක් ඔරොත්තු දෙන්න පුලුවන් විදිහට නිර්මාණය කරලා තියෙන සිලින්ඩරයක් එහෙම ආවට ගියාට බැලුමක් පුපුරනවා වගේ නිකම්ම පිපිරෙන්නේ නෑ කියන කාරණය 7 වසරේ ඉගෙන ගන්න පොඩි එකෙකුට උනත් තේරෙන සරල දෙයක්.

කොහොමහරි අපි මේ කතාව මුලදිම පීඩනය ගැන ඔබට කියන්නේ, හුඟක් වෙලාවට ඔබ මම අපි සාමාන්‍ය මිනිස්සු විදිහට ගෑස් එකක් මිලට ගනිද්දි මුලින්ම බලන්නෙ ගෑස් සිලින්ඩරයේ බර ගැන. හැබැයි ඔබ දන්නවද අපි බරට වඩා සිලින්ඩරයේ සැලකිල්ලට ලක්කර බැලිය යුතුම දේ තමයි සිලින්ඩරය තුළ ඇති පීඩනය. සාමාන්‍ය මිනිස්සු හැටියට අපිට ඕක එක පාරම බලන්න පුලුවන්ද කියන ප්‍රශ්නය දැන් ඔබට එනවා ඇති. ගොඩක් වෙලාවට බොහොදෙනෙක් ඒකට කරන්නෙ ගෑස් ලීක් වෙනවද කියලා බලන්න ටැංකියෙ කට වටේට සබන් වතුර දාලා බලනවා පොඩි හරි කාන්දුවක් එහෙම නැත්තං ලීක් එකක් තියෙනවද කියලා. මොකද ගෑස් කාන්දුවක් වෙන්නේ ගෑස් ටැංකිය තුළ පීඩනය වැඩිවීම සහ හරියට ක්‍රියා නොකරන වෑල්ව නිසා. විශේෂයෙන්ම පහුගිය දවස්වල වාර්තා වුනු ගෑස් පිපිරීම් වලට හේතුව වනුඒ ගෑස් ටැංකියේ පීඩනය එයට සම්බන්ධ කරලා තියෙන රෙගියුලේටරයට දරාගැනීමට නොහැකි වීමයි.

හරි අපි දැන් එකින් එක අරගෙන බලමු. මෙතනදී, කොහොමද මෙච්චර දවසක් පුපුරපු නැති ගෑස් ටැංකි එක සැරේම පුපුරන්න ගත්තෙ. ටැංකියේ ඇතුලත පීඩනය වැඩිවෙලා නම්, එක පාරම කොහොමද මේ ටැංකිවල පීඩනය වෙනස් උනේ. මොකෙක් හරි බහිරවයෙක් ඇවිල්ලා ඇතුලේ ඉඳන් පීඩනය අඩු වැඩි කරලා පොඩි ආතල් එකක් ගන්නවා කියන එකත් වෙන්න බැරි කාරණයක්. මොකද බහිරවයන්ටත් වෙන වැඩ නැතුව නෙමෙයිනෙ. කොහොම හරි මේකෙ තියෙන විද්‍යාත්මක කාරණය වෙන්නෙ, ගෑස් සිලින්ඩරයේ ඇතුලේ තියෙන LPG සංයුතියේ වෙනස් වීම. අපි පාවිච්චි කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩර වලට පුරවනු ලබන්නේ LPG එහෙමත් නැත්තං ද්‍රව පෙට්‍රෝලියම් වායූවයි. සරල සිංහලෙන් කියනවනම් ද්‍රවයක් බවට පත් කළ පෙට්‍රොලියුම් වායුවයි. ඉතින් මෙන්න මේ පෙට්‍රොලියුම් වායුව අපේ රටේ පාරිසරික උෂ්ණත්වයේදී ද්‍රව තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා අධික පීඩනයක් යටතේ ගබඩා කර තියාගන්නට අවශ්‍යයි. ඊට අමතරව අපි ගත්තොත් ගෑස් වල අන්තර්ගත තව මූලික සංයෝග දෙකක් තියෙනවා. ඒ තමයි ප්‍රොපේන් සහ බියුටේන්. තව සුලු සුලු ප්‍රමාණ වලින් පිරිපහදු කරන ක්‍රියාවලීන් වලදී අමතර සංයෝග එකතු වෙන්නට පුලුවන්. හැබැයි අපි මේ කතා කරන සිද්ධියට ඒවයෙ බලපෑම අපිට මදකට නොසලකන්නට පුලුවන්

ඉතින් මේ ගෑස් සිලින්ඩරය ඇතුලෙ ප්‍රොපෙන් සංයුතිය වැඩිවෙනවා කියන්නේ, පීඩනය වැඩිවෙන්න බලනවා කියන එකයි. ප්‍රොපෙන් සියයට 20 – 30 අතර ප්‍රමාණයක් සහ බියුටෙන් සියයට 80 -70 ක පාරාසයක් ඇතුලෙ ගෑස් ටැංකියේ ගබඩා කර ඇති විටක, පිඩනයට වඩා සියයට 50 ක අනුපාතයකින් මෙම සංයෝග දෙක ගබඩා වී ඇති විට පීඩනය කිහිප ගුණයකින් වැඩි වෙනවා. අනික් අතට ද්‍රව විදිහට තැන්පත් කරන LPG වලින් කොටසක්, සෙල්සියස් අංශක විසිපහත් තිහත් අතර පවතින පාරිසරික උෂ්ණත්වය නිසා වායුවක් ලෙස සිලින්ඩරය තුළ පවතිනවා. ඒ කියන්නේ අධික පීඩනයක් යටතේ තමයි ගෑස් ටැංකිය ඇතුළේ මේ සංයෝග ගබඩා වෙලා තියෙන්නේ.

සාමාන්‍යයෙන් ගත්තොත් ගෑස් ටැංකියක සියයට හැත්තෑවක් බියුටෙන් උනොත් එහි පීඩනය බාර් තුනක් වැනි පීඩනයක් යටතේ ගෑස් ටැංකිය තුළ තබා ගන්නට පුලුවන්. නමුත්, එම සංයුතිය සියයට පනහක ප්‍රතිශතයකින් වෙනස් කළොත් ගෑස් ටැංකියේ ඇති පීඩනය ඩබල් වෙනවා ඒ කියන්නෙ, එනම් බාර් 6කට වඩා වැඩි වෙනවා. මේ වෙලාවට ගෑස් ටැංකියේ කරවෑල්ව් එකට මේ පීඩනය දාරා ගැනීමට නොහැකි වී ගෑස් කාන්දු වන්නට බලනවා. ඉතින් සාමාන්‍ය සිද්ධිය තමයි ඕක. කොහොම උනත් ගෑස් සිලින්ඩට කියන්නෙත් ඝන, දෘඩ ඒ කියන්නේ ඉතාම ශක්තිමත් ආවරණයක් සහිත එකක්. ඒකට අපි මේ කතා කරන බාර් දාසයක අධික පීඩනයක් වුණත් දාරා ගන්න පුළුවන්. ගෑස් ටැංකියකට උපරිම පීඩනයට එනකල්ම ඒක දරාගන්න පුලුවන් විදිහටයි නිර්මාණය කරන්නේ. ඒ නිසා ලංකාවේ කොහෙවත් ගෑස් ටැංකි පුපුරලා නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ ගෑස් ටැංකියේ සංයුතිය වෙනස් කළ නිසා හෝ බහිරව දෝස නිසා හෝ එහෙම වූ නිසා එහි පීඩනය වැඩි වෙලා තියෙන එකයි. අනික කර වැල්වය දුර්වල උනත්, රේගියුලේටරය තියෙන්නේ බාර් 6කට වඩා වැඩි පිඩනයකට ඔරොත්තු දෙන විදියට නම්, කිසිම අනතුරක් වෙන්නේ නැහැ. මොකද, සිලින්ඩරයේ පීඩනය රේගියුලේටරය විසින් දරා ගන්න නිසා. රේගියුලේටරය සිලින්ඩරය තුළ ඇති පිඩනයට ඔරෝත්තෝ නොදෙනවානම්, අනිවාර්යයෙන්, ගෑස් කාන්දු වෙනවා. කිසිම කාන්දුවක් නොවෙන ලෙස ගෑස් බට ළිපට සවිවී ඇත්නම්, ළිප් නිවා ඇතිවිට බට තුළ පීඩනය වැඩි වෙනවා. දරාගන්න බැරි මට්ටමකට පීඩනය වැඩි උනාම එම බට හෝ ළිප පුපුරා යනවා. සමහර නිවෙස් වල රාත්‍රී කාලයේ ගිනිගැනීම් නැතිව ගෑස් පිපිරීම් සිදුවුනේ මේ නිසා වියහැකියි

මීට අමතරව ගත්තොතින් ඇතැම් ප්‍රදේශ වලින් ගෑස් ටැංකිවල පීඩනය වැඩි වීම නිසා ගිනි ගැනීම් අවස්ථාද කිහිපයක්ම වාර්තා උනා ඔබට මතක ඇති. මේකට හේතුව මොකක්ද? ඒකට හේතුව තමයි, ගෑස් ටැංකියේ සංයුතිය වෙනස් කිරීමත් එක්ක ටැංකියට ලැබෙන පීඩනය වැඩි වෙන එක. එතකොට වෙන්නෙ නිවසේ භාවිත කරන රේගියුලේටරය ගෑස් ටැංකියේ වෑල් එකට නිසියාකාරව සවි වී නැති නම් හෝ එහි දුර්වලබව නිසා වායුව පිටතට කාන්දු වෙන එක. එතකොට ගෑස් ළිප හෝ විදුලි බල්බය දැල්වීමට යාමේදී විදුලි පුලිඟුව හෝ ගිනි පුලිඟුව නිසා ක්ෂණික ගිනි ගැනීමක් ඇතිවීමේ අවදානමක් තියෙන එක ගැන ඔබට පැහැදිලි වෙන්නට ඇති.

කොහොම උනත් මේකට වගකිවයුතු බලධාරීන්ගේ ඊලඟ පියවර කුමක් විය යුතුද? සාමාන්‍ය මිනිස්සු විදිහට අපි මීට පස්සෙ ගෑස් සිලින්ඩර ගන්න ඕනෙ මැරෙන්න බලාගෙනද? මේ සියල්ලට පිලිතුර තියෙන්නේ ගෑස්, වෙළඳපොලට නිකුත්කරන අදාල සමාගම් සතුව. ඕනම රටක ගෑස් ආනයනය කරනවානම් එහි සංයුතිය රටට කොයිතරම් දුරකට ගැළපෙනවාද, ඒකෙ සංයුතියේ වෙනසක් වෙලා තියෙනවද කියන එක ගැන අවබෝධයක් ආදාළ සමාගම් සතුව තිබිය යුතුමයි . ජාත්‍යන්තර නීති රීතිවලට අනුව ගත්තත් ඕනෑම භාණ්ඩයක් හෝ භාණ්ඩ නැවක් රටකට ඇතුළුවෙද්දිම ඒ නැව සතු භාණ්ඩ ගුණාත්මක තත්ත්වයකින් තියෙනවද කියන එක ගැන පරීක්ෂා කර බැලීම ගෑස් සමාගම්වලටත් අදාල වන පොදු වූ කටයුත්තක්.

සාමාන්‍යයෙන් අදාල නැව් සමාගම විසින් වරායට දෙන්නේ ගෑස් ටැංකිවල ඇති සංයුතියේ ප්‍රතිශතය නැතිනම් පරාසය සඳහන් කරලා තියෙන පත්‍රිකාවක් විතරයි. එත් ඒ භාණ්ඩ වරායෙන් රට තුළට ගන්නවනම් ඒ ගනිද්දි එහි පීඩනය කොයිතරම්ද කියලා මැන බලන එක කරන්න බැරි දෙයක් නෙමෙයි. එහෙම පීඩනය මැන බැලීමේදී එහි කිසියම් වෙනසක් හෝ ඇති නම් වෙනදා ගෑස් ගෙන්වන පිඩනයට වඩා අද පීඩනය වැඩි නම් අන්න ඒ ගැන ආදාළ සමාගම්වල සිටින තත්ත්ව පාලන නිලධාරීන් විසින් ආදාළ ආයතන ප්‍රධානීන්ව දැනුවත් කිරීම ඔවුන්ගේ පරම වගකීමක්. මොකද එතකොට මේ වෙනස ගැන මහජනතාව දැනුවත් කිරීම ඔවුන් සතු වගකීමක් වන නිසා. එහෙම කරානම් මේ සියලු අනතුරු කලින් වළක්වා ගැනීමට තිබුනා.

එතකොට ඇයි මෙහෙම සංයුතිය වෙනස් කරන්නෙ, ඒකෙන් මේක පිටිපස්සෙ ඉන්නෙ වහල් කොමිස් කාරයන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවගේද? ඔව්. කතාව මෙහෙමයි. බියුටේන්වලට වඩා ප්‍රොපේන් සාපේක්ෂව ගත්තොත් ලාභදායකයි. කතාවට කියනවා ප්‍රොපේන් දහනය කරාම වැඩි ශක්තියක් ලැබෙනවා කියලා. නමුත් ඒක එහෙම නම්, මෙච්චර කාලයක් බියුටේන් වලට ප්‍රේම කරපු බලධාරීන්ට ඇයි මේ ඩොලර් අර්බුදය අස්සෙ ප්‍රොපේන් එක්ක ලව් කරන්න ඕන උනේ. ඉතින් ඒක රටේ ජනතාව විදිහට ඔබ අපි සිතා බැලිය යුතුමයි.

අවසන් වශයෙන් රෙගියුලේටර් එකක් කඩෙන් ගන්නවා නම් විශේෂයෙන්ම දැනුවත් වෙන්න ඕනේ ගෑස් ටැංකියේ පිඩනයට මේක කෙතරම් දුරකට ඔරොත්තු දෙනවාද කියන කාරණය ගැන. වෙනදට වඩා හැම අතින්ම අවධානයෙන් ඉන්න එක හරිම වැදගත්. වෙනදා කඩේකට ගිහිල්ලා කෑමක් බීමක් ගන්නකොට එකේ ලේබලේ බලලා කල් ඉකුත්වීමේ දිනය, නිෂ්පාදන දිනය බලන අපිට අද සිදුවෙනවා ගෑස් ටැංකියේ බරෙන් හෝ ගාණෙන් නොව එය ඔරොත්තු දෙන පිඩනයට අනුව රේගියුලේටර් මිලදී ගන්න. ඒ වගේම ගෑස් සමාගම්වලට වගකීමක් තියෙනවා පාරිභෝගිකයෝ කුමන වර්ගයේ රේගියුලේටර් මිලදී ගත යුතුද ගෑස් ටැංකියේ පීඩනය සහ සංයුතිය ඊට ගැළපෙනවාද කියලා ඔවුන්ව දැනුවත් කරන්න. එහෙම කරොත් හෙට දවසේ අහිමි වන්නට අවදානමක් තියෙන වටිනා ජීවිත රැසක් රටට ඉතිරිකරගන්න අපට හැකිවේවි