ඇත්තටම ගෑස් ලීක්ද? ඇත්ත කතාව මෙන්න

පසුගිය කාලසීමාව තුළ ගෘහස්ථ ගෑස් සම්බන්ධයෙන් විවිධ වූ පුවත් රැසක් සමාජ මාධ්‍ය ජාලයන් තුල සංසරණය වුණා. ප්‍රථමයෙන්ම පසුගිය කාලය තුළ සිදුවුණු සිදුවීම් එකින් එක පෙළ ගස්වමු. 2021 වසර ජූලි මාසය  වන විට ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් ආනයනය කිරීම තාවකාලිකව  නතර කළා. ඉන් අනතුරුව ලිට්රෝ ගෑස් ලංකා සමාගම ලංකාවේ ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවයෙන් 100% සැපයීම ආරම්භ කලා. එම වසරේම ඔක්තෝම්බර් නොවැම්බර් මාසයේදී 12.5L, 5L සහ 2.5L ගෑස් සිලින්ඩර් වල මිල ඉහළ යෑමත්  සමගම වෙළදපලේ පවතින ගෑස් ඉල්ලුමට සරිලන සැපයුමක් පවත්වාගෙන යාමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම අපොහොසත් වීමත් නිසා වෙළඳපල තුල ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වල හිඟයක් මතුවුනා.

එම වසරේම නොවැම්බර් මාසයේ සති කිහිපයක් තුළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් සම්බන්ධ පිපිරීම් ගණනාවක් වාර්තා වුණා. මෙහිදී සමාජ මාධ්‍ය ජාලයන් තුළ ප්‍රචාරය වුණේ අදාල පිපිරීම් වලට හේතුව ගෘහස්ථ හා ව්‍යාපාරික ස්ථාන භාවිතා කරන ගෑස් සිලින්ඩර වල ගෑස් සංයුතිය වෙනස්වීම නිසා එම අනතුරු සිදු වූ බවටයි. ගෘහස්ථ ගෑස් සිලින්ඩර වල පැවති අක්‍රමිකතාවයක් හේතුවෙන් එම අනතුරු සිදු වූ බවට ජනතාව විශ්වාසක් ගොඩනැගීමට ,පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පාර්ලිමේන්තුවේදී කළ  ප්‍රකාශයට හැකියාවක් ලැබුණා. නමුත් සත්‍ය වශයෙන් බලපෑ හේතුව පිළිබඳව තවමත් කතාබහට ලක්වෙනවා. දිගින් දිගටම ගෘහාශ්‍රිතව සහ වාණිජමය වශයෙන් පවත්වාගෙන යන ආපන ශාලා තුළ  සිදුවුණු අනතුර සංඛ්‍යාව ඉහළ යාම පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපතිතුමා විසින් විශේෂිත කමිටුවක් පිහිටවූවා.

සාමාන්‍ය ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක අන්තර්ගත වන්නේ සංතෘප්ත වාතයක් පීඩනයට ලක් කර නිර්මාණය කරගත් ද්‍රවයක් වගේම මෙම ද්‍රවය ඉතාම වාශ්පශීලී ගුණයන්ගෙන් යුක්තයි. සිලින්ඩරයේ පිටත උෂ්ණත්වය වැඩිවන විටදී පවා එය තම බඳෙහි උෂ්ණත්වය අඩු කර වාෂ්පීකරණ හැකියාව අඩු කර ගන්නවා. ගෑස් සිලින්ඩරය තුළ ප්‍රොපේන් සහ බියුටේන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වූ ප්‍රතිෂතයන්ගෙන් අන්තර්ගත වෙනවා. අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව බියුටේන් 70% සහ ප්‍රොපේන් 30% වශයෙන් පැවතිය යුතුයි. නමුත් එය සෑම විටම ප්‍රායෝගික නොවන නිසා, එම සංයුතිය 60%- 40% හෝ 80%- 20% ලෙස එම පරාසයන් තුළ පවත්වාගෙන යාමට ගෑස් නිෂ්පාදකයන් කටයුතු කරනවා.  මෙම ගෑස් වර්ග දෙකෙහි පීඩනයන් එකිනෙකට වෙනස්. ප්‍රොපේන් වල වායු පීඩනය බියුටේන් වල පීඩනය මෙන් හතර 4 ගුණයකට සමාන වෙන්වා. මෙන්න මේ නිසා ලංකාව වැනි උෂ්ණ අධික රටකට සරිලන ලෙස ගෑස් නිෂ්පාදනය කිරීමේ දී ප්‍රොපේන්  ප්‍රතිශතය බියුටේන් ප්‍රතිශතයට වඩා අඩුවන පරිදි මිශ්‍ර කරනවා. නමුත් මිශ්‍ර කිරීමේදී ප්‍රොපේන ප්‍රතිශතය වැඩි වීමෙන් ගෑස් සිලින්ඩරය තුල වායු පීඩනය ඉහළ යෑමේ හැකියාවක් තිබෙනවා. මෙන්න මේ නිසා ගෑස් සිලින්ඩරය කොතරම් ශක්තිමත් වුණත්, භාවිතා කරන උපාංග ද ප්‍රමිතියෙන්  පැවතුනත් ගෑස් පිටතට කාන්දු වීමේ අවදානමක් තිබෙනවා. විශේෂයෙන්ම භාවිතා කරන උපාංග වල ප්‍රමිතියක් නොමැති වීමෙන් ගෑස් කාන්දු වීමේ අවදානම තවත් ඉහළ යනවා.

ලංකාවට ආනයනය කරනු ලබන LP ගෑස් නැව්ගත කිරීමට පෙර, නැවේ දී සහ නැවෙන් ගොඩ බෑමෙන් අනතුරුවද විවිධ තත්ත්ව පරීක්ෂාවන්ට ලක් වෙනවා. එමෙන්ම එම ගෑස්, ගෑස්  සිලින්ඩර් වලට පිරවීමෙන් අනතුරුව ද ඒවායේ සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුගමනය කරනු ලබනවා. දැනට ලංකාවේ ගෘහස්ථ ගෑස් අවශ්‍යතාවය දැනට සම්පූර්ණ  කරනු ලබන්නේ ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින්. එම සමාගම National Institute Of Occupational Safety ආයතනයෙන්ද ප්‍රමිතියට අදාළව වසර ගණනාවක ප්‍රදානයන් ලබා ගැනීමට හැකියාවක් ලැබුනා.

නමුත් පසුගිය කාලය තුළ සිදුවුණු පිපිරීම් වලට හේතුව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වල අක්‍රමිකතාවයන් බව විවිධ පුද්ගලයන් විසින් සමාජ මාධ්‍ය තුල ප්‍රකාශ ඉදිරිපත් කලා.ඒ අනුව ගෘහස්ථ ගෑස් වල සංයුතිය 50%-50% ලෙස වෙනස් වීමත්, එම නිසා ගෑස් වල ප්‍රොපේන් සංයුතිය ඉහළ යාමෙන් මෙම අනතුරු සිදු වූ බවට ප්‍රකාශ කලා. ගෑස් සිලින්ඩරය තුල ප්‍රොපේන් වැඩි ප්‍රතිශතයක් අඩංගු වීමෙන් ඒ තුල පීඩනය ඉහළ යාම නිසා ගෑස් පිටතට කාන්දු වීම හරහා අනතුරු සිදු වූ බවට සැක කරන්න පුළුවන්. 20% ක ප්‍රොපේන් සහ 80% බියුටේන් මිශ්‍රණයට ගැලපෙන පරිදි නිර්මාණය කළ ගෑස් වෑල්, ගෑස් බට සහ රෙගියුලේටර වැනි අමතර උපාංග මෙලෙස අධික ප්‍රොපේන්  ප්‍රතිශතයක් අඩංගු ගෑස් වලට ඔරොත්තු දිය නොහැකියි.

නමුත්, ලිට්රෝ ගෑස් ලංකා සමාගම සමාගමේ විධායක නිලධාරීන්ගෙත්, රජයේ රස පරීක්ෂක පරීක්ෂක දෙපාර්තමේන්තුවේත් ප්‍රකාශයන්ට අනුව එම පිපිරීම් ගෑස් සිලින්ඩර වල අක්‍රමිකතාවයක් හේතුවෙන් නොවූ බව සඳහන් වුණා. එම ප්‍රකාශයන්ට අනුව සිදුවූ පිපිරීම් වලට හේතුව ගෘහස්ථ වශයෙන් භාවිතා කළ උපාංග වල ගැටළු සහ අනාරක්ෂිත විදුලි රැහැන් හේතුවෙන් බවට තහවුරු කෙරුණා.

ඒ වගේම එක් අනතුරක් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකගේ විමර්ශනවලදී  හෙළි වූයේ, පිපිරිම් වලට හේතුව ගෑස් සිලින්ඩර් වල පුපුරායාමක් නොවන බවත් ඒවට හේතුව ඒ ඒ නිවාස වල පැවති අනාරක්ෂිත තත්ත්වයන් මත බවත් ය.

ලිට්රෝ ගෑස් ලංකා සමාගම එම සමාගමේ ගෑස් සැපයුම්කරුවන් සමග එහි ප්‍රමිතිය පිළිබඳව සම්මුතීන්වලට එළැඹ තිබෙන්වා. ඒ අනුව LP ගෑස් වල සංයුතිය බියුටේන් 70% ක් සහ ප්‍රොපේන් 30% ක් ලෙස පවත්වාගෙන යා යුතුය. ලිට්රෝ ගෑස් ලංකා සමාගමට අනුව ගෑස් වල සංයුතිය ලංකාව තුලදී කිසිම අවස්ථාවක වෙනස් නොවන අතර එසේ වෙනස් කිරීමේ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව සඳහන් කරනවා. 2021 වර්ෂයේ අප්‍රේල් මාසයේ තුළ ලීටර් 18 ගෑස් සිලින්ඩර් නිකුත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් ආරම්භ කල අතර එම ව්‍යාපෘතියට අනුව ප්‍රොපේන් සහ බියුටේන් වෙන් වෙන් වශයෙන් ආනයනය කොට ඒවා නැව තුළ දී එනම් දිවයිනට ඇතුළුවීමට පෙර නියමිත ප්‍රමිතීන්ට අනුකූලව මිශ්‍රකර වෙළඳපලට නිකුත් කිරීමට සැලසුම් කර පැවතුනා. නමුත් එම නියමු ව්‍යාපෘතිය අසාර්ථක වීම නිසා එම ගෑස් සිලින්ඩර කිසිදු අයුරකින් වෙළඳපලට නිකුත් නොවූ බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රකාශ කළා.
ලිට්රෝ ගෑස් ලංකා සමාගම ට අනුව ගෑස් සිලින්ඩර් කිසිදු අයුරකින්  පිම්බීමකට හෝ වෙනස් වීමකට හෝ පුපුරා යාමකට හෝ ලක් නොවේ.

ලිට්රෝ ගෑස් ලංකා සමාගමට අනුව ගෑස් සිලින්ඩර්  සම්බන්ධ පිපිරීම් වලට විවිධ හේතු බලපාන්න පුළුවන්. මීට වෙළඳපලේ පවතින තත්ත්වයෙන් බාල උපාංග හෝ භාවිතයේ නොසැලකිලිමත් භාවය හේතු විය හැකියි. ගෑස් සිලින්ඩරය සමග භාවිතා කරන ගෑස් උදුන, බට, රෙගියුලේටරය සහ ක්ලිප් වල ප්‍රමිතිය සහ නියමිත කාලයකට වරක් එම උපාංග අලුත් කිරීම සිදු නොවීමෙන් මෙවැනි අනතුරු සිදුවීමේ හැකියාවක් පවතිනවා.

එවැනි අනතුරු වළක්වා ගැනීමට පහත ආකාරයට ඔබට කටයුතු කරන්න පුළුවන්.

ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කරන හෝස් බටය වසර 2කට වරක් මාරු කිරීම සිදුකළ යුතු අතර රෙගියුලේටරය වසර 5කට වරක්වත් මාරු කළ යුතුයි. එමෙන්ම excess flow වැල් එකක් සහිත රෙගියුලේටරයක් භාවිතය තුළින් ගෑස් ගමන් කරන බටය ගැලවී ගිය ද එය ස්වයංක්‍රීයව ගෑස් පිටතට පැමිණීම වළක්වන නිසා එමගින් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට හැකි වෙනවා.

නමුත් ගෑස් වල සංයුතිය වෙනස් වීමක් සිදුවී ඇත්නම්, ගෑස් සිලින්ඩරයේ ශක්තිමත් බව හෝ භාවිතා කළ උපාංග වල ප්‍රමිතිය වැදගත් නොවන අතර සිලින්ඩරය තුල පීඩනය ඉහළ යාම නිසා මෙම අනතුරු සිදු වූ බවට නිගමනය කරන්න පුළුවන්.

වාර්තා වුණු බොහොමයක් අනතුරු උදෑසන කාලය තුළ සිදුවී තිබුනා. විශේෂයෙන් ඔබට උදෑසන ගෑස් උදුන භාවිතා කිරීමට පෙර ජනෙල් හෝ වාතය ඇතුළු වන කවුළු විවෘත කොට හෝ අසාමාන්‍ය ගන්ධයක් පවතී නම් එලෙස යම් කාලසීමාවක් තබා එම ගන්ධය තුනී ව ගිය පසු ආරක්ෂාව තහවුරු කරගත හැකියි.

එමෙන්ම ගෑස් කාන්දුවකදී පහත අයුරින් ඔබට සිදුවිය හැකි හානි අවම කරගත හැකියි. සාමාන්‍යයෙන් ගෑස් වල කිසිදු ගන්ධයක් නොමැති නිසා ගෑස් නිෂ්පාදකයන් ඊට “මීතේන් මර්කැප්ටන්” නම් වූ ද්‍රව්‍යයක් එක්කර ඊට අනන්‍යවූ ගන්ධයක් ලබා දෙනවා. මේ නිසා ගෑස් කාන්දුවක් එහි ගන්ධයෙන් හඳුනා ගැනීමට හැකියාවක් තිබෙනවා වගේම අනතුරක් වීමට ප්‍රථමයෙන් ඒ වළක්වා ගැනීමට හැකියාවක් ලැබෙනවා. එවැනි විශේෂිත වූ ගන්ධයක් දැනුනු වහාම ගෑස් සිලින්ඩරය ට සම්බන්ධ කර ඇති රෙගියුලේටරය වසා දැමිය යුතුයි.

ගෑස් කාන්දුව ගෑස් බටයෙන් සිදුවේනම් ගෑස් සිලින්ඩරයට සම්බන්ධ කර ඇති රෙගියුලේටරය ආරක්ෂිතව සිලින්ඩරයෙන් ගලවා ඉවත් කල යුතුයි. ගෑස් කාන්දුව සිලින්ඩරය රෙගියුලේටරයට සම්බන්ධ වන ස්ථානයේ නම් ආධාරකයක් මගින් සිලින්ඩරය පෙරලිමට ලක් නොකර සෘජුව තබාගෙන එළිමහන් ස්ථානයකට රැගෙන යා යුතුයි. මෙවැනි ගෑස් කාන්දුවක් පවතින අවස්ථාවක නිවසේ ප්‍රධාන විදුලි පරිපථය විසන්ධි කිරීමෙන් සිදුවිය හැකි හානි වළක්වාගත හැකියි. ඔබ වෙළඳපලෙන් මිලදී ගත් ගෑස් සිලින්ඩරය කාන්දු වීම් වලින් තොර බවට තහවුරු කරගැනීම සඳහා ඔබට පහත පියවර අනුගමනය කළ හැකිය.එනම්, ඔබ මිලදී ගත් ගෑස් සිලින්ඩරය රෙගියුලේටරයට  සම්බන්ධ කිරීමට පෙර හා පසු සබන් වතුර ස්වල්පයක් ඒ මතට එක් කර කාන්දු වීම් තිබේදැයි නිරීක්ෂණය කල හැකිය.