වසර 2700ක් පැරණි ඇසිරියානු මැටි පුවරුවකින් ලොවක් කළඹන අද්භූත කතාවක් හෙළිවෙයි

වසංගත රෝග මුළු ලෝකයටම මහා පරිමාණයෙන් බාධා ගෙනදෙන සාදකයක් බවට අද වනවිට පත්වෙලා තියනවා. ඈත අතීතයේ පවා මේ විදියට මහා ජන සංහාර සිදුවෙන්න වසංගත රෝග බලපාලා තියන බවට සාක්ෂි තියනවා. නවීන විද්‍යාවත් එක්ක එන්නත්කරණය මගින් යම් යම් රෝග පාලනය කලත් ස්වභාවධර්මය ඇයට අවශ්‍ය ආකාරයට ජනගහනය පාලනය කිරීම සිදුකරන බව නම් රහසක් නොවෙයි.  බොහෝ වෙලාවට නූතන වෛද්‍ය ක්‍රම එක්ක සංසන්දනය කරමින් අතීතය බොහෝ පහතට හෙළන අවස්ථා අපි දැක තියෙනවා. ඒ තමයි අතීතයේ තිබුණ වෛද්‍ය ක්‍රම හරිම නොදියුණු බවත් එමගින්  රෝග සුවකිරීමක් සිදු නොවුණ බවට සිදුකරන ප්‍රචාරය. මේ නිසා ලෝකයේ බටහිර වෛද්‍ය ක්‍රමය හැරුණු විට පවතින විකල්ප වෛද්‍ය ක්‍රම පිළිබඳව තියෙන්නෙ පැහැදිලි සංකල්පයක් නම් නෙවෙයි. කොහොම වුණත් බටහිර වෛද්‍ය ක්‍රමය ලෝකයේ බිහිවෙන්න මේ විකල්ප වෛද්‍ය ක්‍රම ලොකු පිටුවහලක් වුණ බව මේ වෙනකොට රහසකුත් නෙවෙයි. .

අතීතයත් වර්තමානයත් යන දෙකේදීම වසංගත රෝග හමුවේ නම් මිනිසා ඉන්නෙ ඉතාම අසරණ තත්වයක. මේ වනවිට තියන කොවිඩ් වසංගත තත්වයට ගැලපෙන්නෙ විවිධාකාර එන්නත් රැසක් අත්හදා බලන එකත් ඒ එන්නත් වල ක්‍රියාකාරීත්වයට වඩා වෙනස් වෙමින් නිර්මාණය වෙන වෛරසයත් ඒ වගෙ සංසිද්ධියක් තමයි. ඒ නිසා ලෝකයේ ඉතාම පැරණි විකල්ප වෛද්‍ය ක්‍රම පහතට හෙලන ප්‍රකාශයක් විදියට  වසංගත රෝග පාලනය වුණේ නෑ කියන පදනම ඉදිරිපත් කරන එක නම් ඒ තරම් සදාචාර සම්පන්න නැති බව ඔබටත් සිතෙනවා ඇති.  කොහොම උනත් අද මේ වීඩියෝවෙන් ඔබ දැනුවත් වේවි අතීත වෛද්‍ය ක්‍රමත් හිතන තරම් සරල නොවන බව. විවිධ රෝග හා සම්බන්ද විශ්මයජනක ප්‍රතිකාර ක්‍රම අතීතයේ සිදුකරලා  තියන බව..

අවුරුදු 2700 කට එහා පැරණි වෛද්‍ය ලේඛන තියෙනවා කීවොත් ඔබ විශ්වාස කරනවාද. ඒ කාලයටත් වඩා එහා ගිය විවිධාකාර ලිපි ලේඛන හමුවෙලා තිබුණා උනත් වෛද්‍ය ලේඛන නම් ඒ වගේ හමුවෙලා තිබුණෙ හරිම කලාතුරකින්.   ඇසිරියානු මැටි පුවරුවකින් මේ වගේ ඓතිහාසික වෛද්‍ය තොරතුරු නිරාවරණය වෙලා තියනවා. ඒ මැටි පුවරුව කීලාකාර අකුරු වලින් යුතු එකක්. මේ පුවරුව ඉරාකයට අයිති ප්‍රදේශයකින් දශක ගනනාවකට පෙර සොයාගෙන තිබෙනවා. පරීක්ෂකයන් විසින් මේ  පුවරුව දිගින් දිගටම නිරීක්ෂණය කරද්දි ඈතට නෙත් යොමාගෙන සිටින මිනිස් රූපයක් වැනි යමක් සටහන් කරලා තිබෙන බව දකින්න ලැබිලා තියෙනවා. මේ මිනිස් රූපයෙන් නිරූපණය වෙන්නෙ අපස්මාර රෝගය ඇතිකරනු ලබන  යක්ෂයාගෙ රූපය බව ඔවුන් විශ්වාස කලා.

මිට හේතුව තමයි අංදෙකක් වලිගයක් සහ එලියට දැමූ දිව සහිතව මේ මානව රූපය නිරූපණය වීම. ඒත් සමගම මේ මැටි පුවරුව නිරූපණය කරන්නෙ  ඔවුන්ගේ වෛද්‍ය ක්‍රම වල අද්භූතජනක යම් යම් වෛද්‍ය උපක්‍රම  බවත් පරීක්ෂණයන් අනුමාන කරලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් විවිධ මතවාද ඉදිරිපත් උනා  . ආචාර්ය ට්රොයෙල්ස් ප්රෑන්ක් ආබල් කියන්නෙ මේ මැටි පුවරුව ගැන විශේෂයෙන් අධ්‍යයනය කරපු මහාචාර්යවරයෙක්. ඔහු මේ පුවරුවේ කොටසක් ආධාර කරගෙන තමන්ගෙ පරීක්ෂණ නිබන්ධනය සම්පූර්ණ කරලා තියනවා. ආචාර්ය ප්රෑන්ක් පවසන ආකාරයට දැන් පවතින දියුණු වෛද්‍ය ක්‍රමයේ ඉතිහාසය තමයි මේ විදියට ඈත අතීතයෙන් හමුවෙලා තියෙන්නෙ. ඔහු science Nordic සයන්ස් නෝඩික් කියන ප්‍රකාශනයට සදහන් කරලා තිබුණේ මේ පැරණි ඇසිරියානු වෛද්‍ය ක්‍රමය තුල වෛද්‍ය ශිෂ්‍යයින්ට  රෝග හදුනාගැනීම, රෝග වලට හේතු විනිශ්චය කිරීම ප්‍රතිකාර විධි ආදි සියල්ලටම පුරුදු පුහුණු කිරීම පිළිබදව තොරතුරු මේ ලියවිල්ල තුල ඇතුලත් වෙලා තියන බවයි. 

මේ තොරතුරු සහ තවත් අධ්‍යන කටයුතු වල යෙදුණු පර්යේෂකයන්ට  රෝග සුව කිරීම සම්බන්ධ වෛද්‍ය ක්‍රම වගේම ඊට අමතරව වෙනත් ඉන්ද්‍රජාලික උපක්‍රම වැනි අද්භූත දේවලුත් මේ සමගම ඔවුන් යොදාගෙන තිබුණ බව අනාවරණය වුණා. උතුරු ඉරාකයේ අසාර් නගරයෙන් සොයාගැනුණ මේ මැටි ලියවිලි වල වෛද්‍ය ශිෂ්‍යයෙක් තමන්ගේ වෛද්‍ය අධ්‍යාපනය ගැන සදහන් කරපු තොරතුරු තමයි ඇතුලත් වෙලා තිබුණේ.. මේ වෛද්‍ය ශිෂ්‍යයා කිසිර් අසූර් බවත් පසුව සොයා ගැනුනා .  මේ සටහන් එකතුවේ  අතීතයේ ඉදන් ග්‍රීක යුගය දක්වාම පැවතුණ වෛද්‍ය ක්‍රම ගැන සහ පාරම්පරික ඉන්ද්‍රජාලික උපක්‍රම ගැන සුමේරියානු අක්ෂර වලින් සදහන් වෙලා තිබුණා.

මේ මැටි පුවරුව ආචාර්ය ට්රොයෙල්ස් භාරයේ බර්ලින් නගරය තුල අවුරුදු හතරක්ම තිබිලා තියෙනවා. ඉන් පසුව පුළුල් ව සිදුකරපු අධ්‍යයනයකින් මේ තොරතුරු සොයා ගැනුණු බව තමයි පර්යේෂකයන් පවසන්නෙ. ආචාර්ය ට්රොයෙල්ස්ට  අනුව  රෝග හටගැනීම සිදුවෙන්නේ දෙවියන්ගේ යකුන්ගේ හෝ හදි හූනියම් වල බලපෑමෙන් කියලා පැරණි සුමේරියානු ජනතාවත් බැබිලෝනියානු ජනතාවත් විශ්වාස කරලා තියෙනවා.  ඒ නිසා යන්ත්‍ර මන්ත්‍ර ආදියෙන් ජප කිරීම් වලින් එම රෝග හේතු කාරණා වන අද්භූත බලවේග පලවා හැරීමෙන් අනතුරුව ඔවුන් රෝගය සදහා ඖෂධ ප්‍රතිකාර විධි යොදලා තියෙනවා. මේ නිසා ඔවුන්ගේ වෛද්‍ය ක්‍රමය මේ සියල්ලගේම එකතුවක් විදියට තමයි දකින්න පුළුවන් වෙන්නෙ.

කොහොම උනත් ඇසිරියානුවන් සහ බැබිලෝනියානුවන් විසින්” බෙන්නු” කියන නමින් තමයි අපස්මාරය හැදින්වුවෙ. මේ  නමින් හදුන්වන අපස්මාර රෝගය මිනිසුන්ට ඇතිකරවන යක්ෂයා පිලිබඳ ව රූපයක්   වෛද්‍ය විද්‍යාව හා අදාල පුවරුවක සටහන් වෙලා  තිබුණු පලවෙනි වතාව මේ අවස්ථාව කියලා ආචාර්ය ට්රොයෙල්ස් පවසනවා. 

රෝගියාගේ සිරුර  අකර්මණ්‍ය වීම, රෝගියාට සිහිසන් නැතිවීම , ඇතැම්විට රෝගියා එළුවෙකු මෙන් කෑමොර දීම මේ බෙන්නු යන නමින් හදුන්වන රෝගයේ ලක්ෂණ විදියට ඔවුන් සටහන් තබලා තිබෙනවා. මේ අපස්මාරය හා සම්බන්ධ යක්ෂයා සම්බන්ද වෙන්නෙ සින් නමින්  හදුන්වන චන්ද්‍ර දෙවියන් සමගයි. ඒ යක්ෂයා චන්ද්‍ර දෙවියන්  වෙනුවෙන් ක්‍රියාත්මක වන බව ඔවුන් සලකනවා.

ඉන්පසුව මේ රෝගය වැළදුන රෝගියාත්  සම්බන්ධ වෙන්නෙ  චන්ද්‍ර දෙවියන් සමග බවට විශ්වාසයක් පැරණි සුමේරියානුවන් සහ බැබිලෝනියානුවන් අතර පැවතිලා තියෙනවා.

මේ මතවාදය මෑත සහශ්‍ර වලදිත් වත්මන් ලෝකයේ බොහෝ ප්‍රදේශ වල ව්‍යාප්ත වෙලා තියන මතයක් බව සදහන් වෙනවා. ලුනසි ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් හදුන්වන උමතුව යන අර්ථය ගෙන දෙන වචනයද මේ මගින් ඇතිවූ එකක් බව ට්රොයෙල්ස් පවසනවා.  මේ නිසා අතීත ශිෂ්ටාචාරවල වෛද්‍ය විද්‍යාත්මක දැනුම වර්තමාන වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසයට මනා පිටුවහලක් වී ඇති බව ආචාර්ය ට්රොයෙල්ස් විශ්වාස කරනවා.

වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඇතුලත් මේ පුවරුවල සදහන් වෙලා තියෙන්නෙ යක්ෂයින් හා සම්බන්ධ රූප නොවෙන බවත් රෝගීන් ට ප්‍රතිකාර කරන පුද්ගලයන් ඒ කාර්යයේදී  වත්පිළිවෙත් වල යෙදෙන ආකාරය මෙලෙස සදහන් වන බවත් ඔහු පවසනවා. මැටි පුවරුවක් මත  මේ විදියට අද්භූත රූපයක් සටහන් කර තිබීම සුවිශේෂී වූ කාරණාවක් විදියටත් ආචාර්ය ට්රොයෙල්ස් ප්‍රකාශ කරලා තියෙනවා.

ඒ වගේම යම් පුද්ගලයෙකුගේ ශරීරයට විෂක් ඇතුළු උනාම ඒ විෂ ක්‍රියාත්මක වෙන ආකාරයත් සිව්පා සතුන් විවිධ සර්පයින් සහ ගෝනුස්සන් වැනි විෂ සතුන් දෂ්ට කිරීමෙන් පස්සේ සිදුකරන ප්‍රතිකාර ගැන මෙහි සදහන් වෙලා තියනවා . ඒ වාගෙම ඔවුන් ට ප්‍රතිකාර කරන  වෛද්‍යවරුන්ගේ  නිර්මාණය කරන ලද ආකෘති පිලිරූත් තමන් ට හමුවෙලා තියන බව ඔහු ප්‍රකාශ කරලා තිබුණා.

වර්තමාන වෛද්‍ය විද්‍යාවේ පියා විදියට හදුන්වන හිපොක්‍රටීස්ටත් වඩා අවුරුදු සියගණනක් පැරණි සමයක වාසය කලත් වෛද්‍ය කිසිර් අසූර් කියන මේ වෛද්‍යවරයා ඔහු තරම්ම දක්ෂ පුද්ගලයෙක් බවත් ඔවුන් දෙදෙනාගේම අදහස් ඉතා සමාන බවත් මේ මැටි පුවරුවල සදහන් කරුණු වලින් අනාවරණය වෙනවා. ශරීරයේ පවතින පිත  පුද්ගලයාට බලපාන ආකාරය කොයි ආකාරයෙන් ද යන්න පිලිබද ව මෙසපොතේමියානු  වෛද්‍ය ක්‍රමය තුල විශේෂයෙන් සඳහන් කරලා තියනවා.

.අතීතයේ ඒ වෛද්‍ය ක්‍රමය කොයි තරම් පුළුල්ව තිබුණේද යන්න පර්යේෂකයන්ට වටහා ගැනීමට වෛද්‍ය කිසිර් අසූර් මේ විදියට ක්‍රමානුකූලව ව තබපු සටහන් බොහෝ වැදගත් වූ බව කිව යුතුම කාරණයක්.

කිසිර් අසූර් විසින් උග්ගල් කැබැල්ලක් ආධාරයෙන් හරිම ක්‍රමවත්ව තබපු මේ සටහන් වලින්  වර්තමානයේ නූතන  වෛද්‍ය ක්‍රමය සහ ඉන්ද්‍රජාල කියන ක්‍රම දෙක ඉතා දුරස්ථව පැවතුණත් අතීතයේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරය තුළ එය ගසට පොත්ත මෙන් බැදිලා තිබුණ බව හොදින්ම පැහැදිලි වෙනවා. ඉන්ද්‍රජාල ක්‍රම නොමැති වෛද්‍ය ක්‍රමයක් එවකට තිබිලා නෑ.

ශරීරයේ පවතින රෝග සදහා ඖෂධ යෙදීම , වෙළුම් පටි , පැලැස්තර ඖෂධ ගැල්වීම ආදියෙන් සිදුකරන අතරතුර මානසික චිකිත්සාව සදහා යන්ත්ර මන්ත්‍ර, යාග හෝම, මන්ත්‍ර ජප කිරීම ආදිය යොදාගත්තා . මේ අතරින් ප්‍රතිකාරයට ප්‍රථම දෙවියන්ට යාච්ඤා කිරීම, යකුන් ඇදහීම ආදිය මූලිකත්වයක් ගත්තා .

කෙස් රොදවල් කීපයක් ගෙන එකට ගොතා ගල් කැට එල්ලීම, ඒවා ඉනේ ගෙලේ පැලදීම, දෙවියන් ට හා යකුන්ට බිලි පූජා පැවැත්වීමත් ඒ කාලයේ ප්‍රකට ඉන්ද්‍රජාලික උපක්‍රම බවට පත්වී තිබුණා.

මේ ශිෂ්ටාචාරය තුළ ඇති විශේෂයෙන් හදුනා ගත්ත ලෙඩ අතරෙ පාණ්ඩුව රෝගයත් ඇතුලත්. ශරීරයේ රුධිරය මදි වීම නිසා ඇතිවන මේ රෝගය යම් අයකුගේ සාපයක් හෝ යක්ෂ බලපෑමක් නිසා ඇතිවී පුද්ගලයා සුදු මැලි වන බවට ඔවුන් විශ්වාස කළ බව ලියවිලි වල සදහන් වෙනවා.

මේ සදහා යාගහෝම වැනි බාහිර ප්‍රතිකාර වලට අමතරව  හොදම අභ්‍යන්තර ප්‍රතිකාරය වස්ති යෙදීම බව ඔවුන් වටහාගෙන තිබෙනවා.

රුධිර නාල ඇතුළුව  ශරීරයේ වෙනත් අභ්‍යන්තර ඉන්ද්‍රියවල හටගන්න ලෙඩ රෝග ෂෂාටු, සගල්ලු හෝ මෂ්කාඩු යන නම්වලින් ඔවුන් හදුන්වා තියෙනවා. මේ වගේ රෝග ඇතුළු ව ශරීරයේ හටගන්නා බොහෝ රෝග පිත නිසා හටගන්නා බව මෙසපොතේමියානුවන් විශ්වාස කරලා තියෙනවා. 

යම්කිසි පුද්ගලයෙක් අභාෂු හෝ අමරික්කානු යන පාණ්ඩු රෝග වලින් පෙලෙනවා නම් ඒ සදහා ඖෂධීය ප්‍රතිකාරත් තමන් යෙදූ බවට කිසිර් අසූර් සදහන් කරලා තියෙනවා. වස්ති කිරීම ප්‍රතිකාරය කරගත් ඔහුගේ වට්ටොරුවක් තමයි අපි දැන් සදහන් කරන්න යන්නෙ.  කුඹුරු, බූරාෂු, බලුක්කු, සුවාසු, අරිනු, ආටායිෂු, සූටිං, දාමුෂි  සහ තොලොන්කින්ත් කියන ශාක වර්ග සමාන ප්‍රමාණයෙන් කිරාගෙන හොදින් පිරිසිදු කරලා පිරිසිදු බීර දියරයෙන් තම්බා පෙරාගෙන මී පැණි ටිකක් එකතු කරලා ගුද මාර්ගයෙන් වස්ති ලෙස දුන් බව ඔහු සදහන් කරලා තියනවා.

මේ විදියටම ගෝනුස්සන් දෂ්ට කළ විට කලයුතු ප්‍රතිකාරත් කිසිර් අසූර් සදහන් කරලා තියනවා. කටුස්සෙකුගේ හිස කපා ඉවත් කරලා ඒ වෑස්සෙන රුධිරය ගෝනුසු දෂ්ටනය කරපු තැන ආලේප කල යුතු බව තමයි ඒ ප්‍රතිකාරය.

ඒ වගේම තද හිසරදය සහ ඇස් වලින් කදුළු ගැලීම් තියන රෝගියෙක් නම් ඔහුගේ හිස සාස්ලූ සහ භාෂු ශාක බියරෙන් තම්බා නලලේ ගල්වා වෙළුම් පටියකින් හිස එතිය යුතු බවත් වෛද්‍ය අසූර් ඔහුගේ ලියවිලි වල සදහන් කරලා තියෙනවා.

මේ විදියට වැළලී ගිය ශිෂ්ටාචාරයක දියුණු වෛද්‍ය ක්‍රමයක් මතු වුණේ එකල සිටි දක්ෂ වෛද්‍යවරයෙක් මැටි පුවරු මත තබපු සටහන් හේතුවෙන්. මේ සටහන් නොවෙන්න එවනි වෛද්‍ය ක්‍රමයක් ගැන යම් කිසි හෝඩුවාවක් හෝ අපිට දැනගන්නට නොහැකි වෙන්නට ඉඩ තිබුණා.  එක් එක් දේශයට ආවේණික වන මේ වගේ වෛද්‍ය ක්‍රම හැම ශිෂ්ටාචාරයකම වාගෙ තිබුණත් නිශ්චිත ලියවිලි නොමැති කමින් ඒ දත්ත යටපත් වෙලා තිබෙනවා. අතීත මෙසපොතේමියානු ශිෂ්ටාචාරය සරුසාර චන්ද්‍රවංකය කියන නාමයෙන් හදුන්වන්න හේතු වුණේ ඔවුන්ගෙ එල්ලෙන උද්‍යානය වගෙ දියුණු ඉංජිනේරු තාක්ෂණික ක්‍රම විතරක්ම නිසා නොවෙන බව ඔබට මේ වීඩියෝ එකෙන් පැහැදිලි වෙන්න ඇති.  ඔවුන් සතුව ඉතා දියුණු වෛද්‍ය ක්‍රමයකුත් පැවතිලා තියෙනවා කියන්න සාක්ෂි තමයි මේ. 

ලෝකයේ ශිෂ්ටාචාර වල දැනුම ඇතුළු ලෝකය වටා නොයෙක් තොරතුරු සමග නැවතත් මුණ ගැහෙමු.

“ඔබ තවමත් විශ්වකර්ම යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ ක්ලික් කරන්න.”

ඔබට වාසනාවන්ත සුබ දවසක් වේවා