බළලුන් අතරත් කොරෝනා පැතිරෙයි

මීට පෙර අපි විශ්වකර්ම යුටියුබ් චැනලය මගින් නිකුත් කළ වීඩියෝවකින් කොරෝනා වෛරසය සතුන් අතරත් පැතිර යමින් පවතින බවට ශ්‍රී ලංකාවේ අනිකුත් සියලු ජන මාධ්‍යවලටත කලින් මුල් වරට අනාවරණය කළා. අද වෙනකොට තත්ත්වය තවත් බරපතළ වෙලා තියෙනවා.

කෙසේ වෙතත් අස්වැසිල්ලට කරුණක් වන්නේ කොරෝනා වෛරසය සතුන් ගෙන් මිනිසුන් වෙත ආසාදනය වන බවට සාක්ෂි මෙතෙක් වාර්තා නොවීමයි.

මුල් වරට නිව්යෝක් නගරයේ පිහිටි බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ නාඩියා නම් කොටි ධේනුවට මෙම රෝගය වැළඳී ඇති බවට තහවුරු වූ අතර පසුව තවත් කොටියන් පස් දෙනෙකුට සහ සිංහයන්ට තුන් දෙනෙකුට වෛරසය ශරීරගත වී ඇති බව පර්යේෂණ කණ්ඩායම් විසින් සොයා ගනු ලැබුවා.

එමෙන්ම මේ වන විට හොංකොවලින් කොරෝනා වෛරසය ආසාදනය වූ පොමනේරියන් වර්ගයේ සහ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයන් දෙදෙනෙකු පිළිබඳව වාර්තා වෙනවා. මේ සුනඛයන් දෙදෙනාගේම හිමිකරුවන් කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයන්.

අලුත්ම වාර්තාවලට අනුව නිව්යෝර්ක් නගරයෙන් මේ වෛරසය වෛරසය ආසාදනය වූ බළලුන් දෙදෙනෙක් මේ වන විට පර්යේෂකයන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබනවා. ඔවුන් පසුගිය දිනවල ශ්වසන රෝග ලක්ෂණ විදහා පෑමත් සමග ඔවුන්ගේ අයිතිකරුවන් විසින් පශු වෛද්‍යවරුන් වෙත ගෙනයාම සිදු කොට තිබෙනවා. එම පශු වෛද්‍යවරුන් වෙතින් ලද තොරතුරු මත කොරෝනා රෝගය පිළිබඳව පර්යේෂණ සිදු කරන පිරිස් විසින් මේ අනාවරණය සිදුකරගෙන තිබෙනවා.

මේ නිසා තම සුරතල් සතුන් නිවසෙන් බැහැරට යැවීම හැකිතාක් සීමා කළ යුතු බවට අදාළ පර්යේෂණ කණ්ඩායම විසින් නිර්දේශ කොට තිබෙනවා.